රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ආරම්භ කර ඇති දීපව්‍යාප්ත වැඩ වර්ජනය මේ මොහොතේ නොකළ යුතු, ජනතාව පීඩාවට පත් කරන “කඩාකප්පල්කාරී” ක්‍රියාවක් බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් එච්. එම්. එස්. බී. මැදිවත්ත මහතා මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ, ඇතැම් පිරිස්වල පටු දේශපාලන අරමුණු සහ බලය ලබා ගැනීමේ අවශ්‍යතාවන් වෙනුවෙන් මෙවැනි වර්ජන දියත් කරන බවයි. රටේ පවතින ප්‍රශ්න විසඳෙමින් පවතින අවස්ථාවක මෙවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම රජය අපහසුතාවයට පත් කිරීමේ සහ විපක්ෂ කණ්ඩායම්වල අවශ්‍යතා ඉටු කිරීමේ වෑයමක් බව ඔහු පෙන්වා දුන්නේය.
ඉදිරියේදී එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය පිළිබඳව අවධානය යොමු කරමින් මැදිවත්ත මහතා කියා සිටියේ, උත්සව සමයට පෙර රෝගීන් සිය ප්‍රතිකාර සහ ඖෂධ ලබා ගැනීමට රෝහල් වෙත පැමිණෙන මෙවැනි සංවේදී කාලයක වර්ජනයක් කිරීම අතිශය අසාධාරණ බවයි. සෞඛ්‍ය ක්ෂේත්රයේ පොදු ප්‍රතිපත්තිවලට අනුව රජය කටයුතු කළ යුතු මිස, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවශ්‍ය පරිදි ස්ථාන මාරු ලැයිස්තු සැකසීමට ඉඩ දිය නොහැකි බව ද ඔහු ප්‍රකාශ කළේය. වගකිවයුතු වෘත්තීය සමිති ලෙස මේ අවස්ථාවේදී රජයට සහයෝගය ලබා දී පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීමට කටයුතු කළ යුතු බව ඔහුගේ මතයයි.
බහුතරයක් වෛද්‍යවරුන් පවා මෙම වැඩ වර්ජනයට එකඟ නොවන බවත්, මෙය හුදෙක් සංගමයේ ඉහළ නිලධාරීන්ගේ පටු තීන්දුවක් බවත් හෙද සංගමය චෝදනා කරයි. රෝගී ජීවිත අවදානමට ලක් කරමින් සිදු කරන මෙම වර්ජනය මෙරට පොදු ජනතාවට එරෙහි වීමක් ලෙස හඳුන්වා දුන් හෙද සංගම් ලේකම්වරයා, මෙවැනි අත්තනෝමතික ක්‍රියාවන් පාලනය කිරීමට රජය කටයුතු කළ යුතු බව ද අවධාරණය කළේය. මේ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සෞඛ්‍ය ක්ෂේත්රයේම අනෙකුත් ප්‍රධාන වෘත්තීය සමිතිවල දැඩි විවේචනයට ලක්ව තිබේ.














