මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අයත් ජල පෝෂක කලාපවලට අද (14) දින පතිත වී ඇති අධික ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ. හැටන් – නුවරඑළිය සහ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ග ඇතුළු අතුරු මාර්ග රැසකම මෙම තත්ත්වය දක්නට ලැබෙන බව පොලිසිය වාර්තා කරයි.
දෘශ්‍යතාව අවම වීම හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට රියදුරන් දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව හැටන් පොලිසියේ රථවාහන අංශය අවධාරණය කරයි. ඒ අනුව, එම මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු (Headlights) දල්වාගෙන, ආරක්ෂිත වේගයකින් යුතුව රිය ධාවනය කරන ලෙස රියදුරන්ගෙන් විශේෂ ඉල්ලීමක් කෙරේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කඳුකර මාර්ගවල ලිස්සා යාමේ අවදානමක් ද පවතින බැවින්, අත්‍යවශ්‍ය කටයුතුවලට හැර අනෙක් අවස්ථාවලදී දැඩි මීදුම් පවතින වේලාවන්හි රිය ධාවනයෙන් වැළකී සිටීම වඩාත් යෝග්‍ය වේ.














