නුවරඑළිය ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණයක් වන ලවර්ස් ලීප් දිය ඇල්ල නැරඹීමට ගිය 52 හැවිරිදි විදේශීය සංචාරකයෙකු, එහි අතිශය අවදානම් සහිත ගලක් මත සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී ප්‍රපාතයට ඇද වැටී ඊයේ (27) බරපතල තුවාල ලබා තිබේ. සිය බිරිඳ සමඟ දිය ඇල්ලේ ඉහළ කොටසට ගොස් සිටි මෙම සංචාරකයා අනතුරට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් විසින් පොලිසියට දැනුම් දී ඇති අතර, ඒ අනුව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස්.සී. සංජීව මහතා ඇතුළු කණ්ඩායමක් වහාම එම ස්ථානයට පැමිණ ඇත. කඳු මුදුනේ අසීරු ස්ථානයක රැඳී සිටි තුවාලකරු මුදාගැනීම සඳහා නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේ සහය ද ලබා ගැනීමට පොලිසියට සිදුවිය.
පොලිස් නිලධාරීන් සහ සහන සේවකයන් එක්ව දැඩි වෙහෙසක් දරා තුවාලකරු කඳු මුදුනේ සිට පහළට රැගෙන ආ අතර, පසුව සුවසැරිය ගිලන් රථයක් මඟින් ඔහු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ. මෙම අනතුරින් විදේශිකයාගේ පාදයකට බරපතල හානි සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි. සංචාරකයන් මෙවැනි අවදානම් සහිත ස්ථානවල ඡායාරූප ගැනීමට යාමේදී දැඩි සැලකිලිමත් විය යුතු බවත්, අනතුරු ඇඟවීමේ පුවත්පත් නොසලකා හැරීම මෙවැනි ඛේදවාචකයන්ට ප්‍රධාන හේතුව වී ඇති බවත් නුවරඑළිය පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරයි.














