පසුගිය සති අන්තයේ යෙදුණු දීර්ඝ නිවාඩුව හේතුවෙන් නුවරඑළිය නගරය දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අතිශය ජනාකීර්ණ වී ඇති බව වාර්තා වේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි විශාල පිරිසක් නිසා නගරයේ සංචාරක කර්මාන්තය නැවතත් පිබිදීමකට ලක්ව ඇති බව ITN NEWS DIGITAL පවසයි.
නුවරඑළිය සංචාරක හෝටල් සහ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති මහින්ද දොඩම්පගමගේ මහතා පවසන්නේ නගරයේ පිහිටි සියලුම සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතනවල කාමර මේ වන විටත් වෙන් කර අවසන් වී ඇති බවයි. ග්‍රෙගරි වැව පරිශ්‍රය, වික්ටෝරියා උද්‍යානය සහ හග්ගල උද්භිද උද්‍යානය වැනි ප්‍රධාන සංචාරක ස්ථාන නැරඹීමට විශාල පිරිසක් එක්රොක් වී සිටිති.
ලෝක මට්ටමින් පවතින උණුසුම් දේශපාලන හා යුදමය වාතාවරණය හමුවේ වුවද, දේශීය සංචාරකයන් මෙලෙස විවේකය ගත කිරීම සඳහා නුවරඑළිය තෝරා ගැනීම විශේෂත්වයකි. මෙම දැඩි සංචාරක ආකර්ෂණය හමුවේ නුවරඑළිය නගරයේ රථවාහන තදබදයක් ද වාර්තා වන අතර ආරක්ෂාව සඳහා අතිරේක පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව ද සඳහන් වේ.














