ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින “අසාධාරණ සහ නීති විරෝධී” යුද්ධය අවසන් කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය රාජ්‍යතාන්ත්‍රික සබඳතා භාවිත කළ යුතු බව ජම්මු සහ කාශ්මීර මහ ඇමති ඔමාර් අබ්දුල්ලා (Omar Abdullah) අද (මාර්තු 27) ප්‍රකාශ කළේය. ජම්මු කාශ්මීර ව්‍යවස්ථාදායක සභාවේදී මෙම ප්‍රකාශය සිදු කරමින් ඔහු අවධාරණය කළේ මානව සංහතියේ යහපත උදෙසා මෙම ගැටුම කඩිනමින් නතර කිරීමට ඉන්දියාව මැදිහත් විය යුතු බවයි.
නැෂනල් කොන්ෆරන්ස් (National Conference) පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත සභා නායකයා ලෙස මෙම ප්‍රකාශය සිදු කරන ලදී. එහිදී ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ (Ayatollah Ali Khamenei) අභාවය පිළිබඳව ද ඔහු සිය ශෝකය පළ කළේය. කෙසේ වෙතත්, භාරතීය ජනතා පක්ෂ (BJP) මන්ත්‍රීවරුන් මෙයට විරෝධය පළ කරමින් කියා සිටියේ මෙය ජාත්‍යන්තර ප්‍රශ්නයක් මිස ප්‍රාන්ත සභාවේ සාකච්ඡා කළ යුතු කරුණක් නොවන බවයි.
අයවැය සැසිය ආරම්භ වීමත් සමඟ සභාව තුළ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය. කොංග්‍රස්, PDP සහ ස්වාධීන මන්ත්‍රීවරුන් ඉරානයට සහාය පළ කරමින් සටන් පාඨ ඉදිරිපත් කළ අතර, භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරුන් ජම්මුහි ජාතික නීති විශ්වවිද්‍යාලයක් ඉල්ලා හඬ නැගීය. මෙම නොසොන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් කතානායක අබ්දුල් රහීම් රාදර් (Abdul Rahim Rather) විසින් සභාවේ කටයුතු පැය භාගයකට කල් තැබීමට ද පියවර ගෙන තිබුණි.














