අමෙරිකානු යුද දෙපාර්තමේන්තුව (Department of War) සමඟ ඇති කරගත් කෘත්‍රිම බුද්ධි (AI) ගිවිසුම සම්බන්ධයෙන් එල්ල වූ දැඩි විවේචන හමුවේ එම ගිවිසුම සංශෝධනය කිරීමට OpenAI සමාගම තීරණය කර තිබේ. ChatGPT හිමිකාරීත්වය දරන OpenAI හි ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් (Sam Altman) පිළිගත්තේ මෙම ගිවිසුම ඉතා කඩිනමින් සහ අදූරදර්ශී ලෙස (“sloppy”) සකස් කරන ලද්දක් බවයි. විශේෂයෙන්ම ජනතාව සමූහ වශයෙන් නිරීක්ෂණය කිරීම (Mass surveillance) හෝ ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA) වැනි බුද්ධි අංශ විසින් මෙම තාක්ෂණය භාවිත කිරීම මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම තහනම් වන පරිදි නව සංශෝධන හඳුන්වා දී ඇත.
අමෙරිකානු රජය මීට පෙර සිය AI අවශ්‍යතා සඳහා භාවිත කළ Anthropic සමාගම ඉවත් කිරීමෙන් අනතුරුව OpenAI මෙම අවස්ථාව ලබා ගත්තේය. Anthropic සමාගම ප්‍රකාශ කර තිබුණේ සිවිල් වැසියන් නිරීක්ෂණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට පටහැනි බවයි. ඒ හේතුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම සමාගම දැඩි ලෙස විවේචනය කළ අතර සියලුම රජයේ ආයතනවලින් Anthropic තාක්ෂණය ඉවත් කිරීමට නියෝග කළේය. මෙම පසුබිම තුළ OpenAI විසින් පෙන්ටගනය සමඟ ගිවිසුම් ගත වීම පිළිබඳව “Delete ChatGPT” වැනි විරෝධතා ව්‍යාපාර පවා අන්තර්ජාලය තුළ ආරම්භ වී තිබුණි.
OpenAI සහ Google යන සමාගම් දෙකෙහිම සේවකයන් 900කට ආසන්න පිරිසක් විවෘත ලිපියක් මගින් සිය පාලනාධිකාරියෙන් ඉල්ලා සිටියේ ස්වයංක්‍රීයව මිනිසුන් ඝාතනය කරන අවි පද්ධති (Autonomous weapons) සඳහා හෝ මහජනතාව නිරීක්ෂණය කිරීමට සිය නිර්මාණ ලබා නොදෙන ලෙසයි. සෑම් ඇල්ට්මන් පවසන්නේ තමන් මෙම ගිවිසුම හරහා නරකම ප්‍රතිඵල වළක්වා ගැනීමට උත්සාහ කළ ද, එය සන්නිවේදනය කිරීමේදී සිදු වූ වැරදි නිසා සමාගමේ ප්‍රතිරූපයට හානි සිදු වූ බවයි. කෙසේ වෙතත්, ස්වයංක්‍රීය ආයුධ පද්ධති මෙහෙයවීම සඳහා තම තාක්ෂණය කිසිසේත්ම ලබා නොදෙන බව OpenAI සමාගම යළිත් අවධාරණය කර ඇත.
මේ අතර, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ මහා භාණ්ඩාගාරය ඇතුළු තවත් ප්‍රධාන ආයතන කිහිපයක් ද Anthropic සමාගම සමඟ පැවති සබඳතා නතර කිරීමට පියවර ගෙන තිබේ. මෙය OpenAI සමාගමට වෙළෙඳපොළ තුළ විශාල අවස්ථාවක් උදා කර දී ඇති නමුත්, සදාචාරාත්මක සහ මානුෂීය වගකීම් පිළිබඳව සමාගම තුළම විශාල කතිකාවතක් නිර්මාණය වී ඇත. ලෝකයේ ප්‍රමුඛතම AI සමාගමක් යුද කටයුතු සඳහා සම්බන්ධ වීම අනාගත තාක්ෂණික ලෝකයේ ගමන් මග තීරණය කරන ප්‍රධාන සාධකයක් වනු නිසැකය.














