විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් ඊයේ (මාර්තු 03) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ මැදපෙරදිග කලාපයේ වර්තමානයේ උද්ගතව ඇති දරුණු යුදමය වාතාවරණය සහ ඉන් මෙරටට එල්ල විය හැකි බලපෑම් පිළිබඳවයි.
මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්වූ ප්‍රධාන කරුණු විමසා බැලීමේදී මැදපෙරදිග කලාපයේ සේවය කරන දස ලක්ෂයකට ආසන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සහ ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී තිබේ. යුද ගැටුම් හේතුවෙන් එම ශ්‍රමිකයන් පත්ව ඇති අවදානම් සහගත තත්ත්වයෙන් ඔවුන් මුදාගැනීමට රජය වහාම මැදිහත් විය යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි.
එමෙන්ම ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් සමඟ සිදුකරන මෙරට ප්‍රධාන පෙළේ ආනයන හා අපනයන කටයුතුවලට මෙම යුද්ධය බාධාවක් විය හැකි බැවින්, ඒ සම්බන්ධයෙන් ද විපක්ෂයේ අවධානය යොමු විය. විශේෂයෙන්ම බලශක්ති සැපයුම සහ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට ගත යුතු පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ.














