“ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ මහජන පරමාධිපත්‍යය සුරැකීම” යන තේමාව යටතේ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ විශේෂ හමුවක් අද (11) කොළඹදී පැවැත්විණි. වත්මන් රජය හමුවේ මතුව ඇති අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා විපක්ෂය ඒකාබද්ධ විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම හමුව වෙත විශේෂ පණිවුඩයක් එවමින් අවධාරණය කළ අතර, එම පණිවුඩය එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරාල මහත්මිය විසින් ඉදිරිපත් කරන ලදී.
මෙම සාකච්ඡාවට එක්වෙමින් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේ එක් එක් පක්ෂයේ අනන්‍යතාව රැකගනිමින් පොදු වැඩපිළිවෙළක් යටතේ ක්‍රියා කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බවයි. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා මෙහිදී චෝදනා කර සිටියේ රජය සිය අදක්ෂතාව වසා ගැනීම සඳහා දක්ෂ පුද්ගලයන් ඉලක්ක කරමින් සිටින බවයි. හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මෙන්ම හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් ඇතුළු දේශපාලන නායකයින් රැසක් මෙම හමුවට එක්ව සිටියහ.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, මනෝ ගනේෂන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී විය. කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (SJB) මෙම තීරණාත්මක හමුවට සහභාගී නොවීම කැපී පෙනෙන සිදුවීමක් විය.














