රටේ පවතින වත්මන් අර්බුදකාරී වාතාවරණය හමුවේ විපක්ෂය සහ විපක්ෂ නායකවරයා සිය වගකීම් පැහැර හරිමින් සිටින බවට ‘අලුත් පියාපත්’ සංවිධානය චෝදනා කරයි. අද (30) නුගේගොඩදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ප්‍රසාද් දිසානායක මහතා අවධාරණය කළේ, ආණ්ඩුව විවේචනය කිරීම පමණක් විපක්ෂයක කාර්යභාරය නොවන බවත්, ජනතාව වෙනුවෙන් සාධනීය පිළිතුරු ඉදිරිපත් කිරීමේ පරිණතභාවයක් විපක්ෂ නායකවරයා සතු විය යුතු බවත්ය. ලෝක දේශපාලන විද්‍යාවට අනුව විපක්ෂය යනු ප්රජාතන්ත්රවාදයේ මුරබල්ලා විය යුතු වුවද, වත්මන් විපක්ෂය එම භූමිකාවෙන් බැහැරව කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
විශේෂයෙන්ම ගෝලීය තෙල් අර්බුදය හමුවේ ආණ්ඩුව රුසියාව සහ ඉන්දියාව වැනි රටවල් සමඟ සාකච්ඡා කරමින් විසඳුම් සෙවීමට උත්සාහ කරන අවස්ථාවක, විපක්ෂ නායකවරයා හුදෙක් ප්‍රශ්න කිරීම් සහ හිස් වචන ප්‍රකාශ කිරීම් පමණක් සිදු කරන බවට එම සංවිධානය දෝෂාරෝපණය කරයි. යමෙකු ලියා දෙන ලියකියවිලි බලාගෙන කියවන “ලදරු දේශපාලන සංස්කෘතියකින්” බැහැරව, රට මුහුණ දී සිටින බරපතළ තත්ත්වය තේරුම් ගෙන වගකීම් සහගතව කටයුතු කරන ලෙස ඔවුහු විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටිති.
මෙම මාධ්‍ය හමුව ඇමතූ මෙහෙයුම් කමිටු සාමාජික සචිත් රුක්ෂාන් මහතා සඳහන් කළේ, බබ් අල් මන්දාබ් සමුද්‍ර සන්ධිය වැසීම වැනි ලෝක දේශපාලන සිදුවීම් පිළිබඳව තොරතුරු සෙවීමට වඩා එමඟින් මෙරටට ඇති වන බලපෑම් කළමනාකරණය කිරීමට සහාය වීම විපක්ෂයේ වගකීම බවයි. විපක්ෂ නායකවරයා “සෑම දෙයක්ම දන්නා ප්රාඥයෙකු” ලෙස රඟපෑම අත්හැර, ජනතාව මුහුණ දෙන පීඩනය අවම කිරීමට රජය ගන්නා විදුලිය අරපිරිමැස්ම වැනි ක්‍රියාමාර්ගවලට දායක විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය. අර්බුදය දේශපාලන වෙළඳ භාණ්ඩයක් කර නොගෙන, ජනතා ඡන්දයට වටිනාකමක් ලබා දෙමින් සහයෝගයෙන් කටයුතු කරන ලෙස ද ‘අලුත් පියාපත්’ සංවිධානය මෙහිදී විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.














