වසර 16ක් පුරා පැවැති වික්ටර් ඕර්බන්ගේ පාලනය නිමා කරමින් ඊයේ (12) පැවැති තීරණාත්මක මහ මැතිවරණයෙන් විපක්ෂයේ ‘තිසා’ (Tisza) පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය. මෙම ජයග්‍රහණයත් සමඟ අද (13) අලුයම වන විට හංගේරියාවේ අගනුවර වන බුඩාපෙස්ට් නුවර වීදි පුරා දහස් සංඛ්‍යාත ජනතාවක් එක්ව සිය සතුට ප්‍රකාශ කරමින් සිටින බව වාර්තා වේ. 80% ක වාර්තාගත ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයක් සටහන් වූ මෙම මැතිවරණය හංගේරියාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යුරෝපීය අභිමතය නැවත ස්ථාපිත කිරීමක් ලෙස ජනතාව සලකති.
බුඩාපෙස්ට්හි සුප්‍රසිද්ධ ‘චේන් බ්‍රිජ්’ (Chain Bridge) පාලනය හංගේරියානු ජාතික වර්ණවලින් ආලෝකමත් කර ඇති අතර ඩැනියුබ් නදිය අසල රැස් වූ දස දහස් සංඛ්‍යාත ජනතාව ජාතික ධජ සහ යුරෝපා සංගමයේ ධජ වනමින් විපක්ෂ නායක පීටර් මැග්යාර්ගේ ජයග්‍රාහී කතාව නරඹමින් සිටිති. “අපි දිනුවා” සහ “එය අවසන්” යනුවෙන් සටන් පාඨ කියමින් තරුණ තරුණියන් නගරයේ මෙට්‍රෝ දුම්රිය ස්ථාන සහ පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිට ප්‍රීති ඝෝෂා නගන අයුරු දැකගත හැකිය.
වික්ටර් ඕර්බන්ගේ ෆිඩෙස් (Fidesz) පක්ෂය කෙරෙහි තරුණ පරපුරේ පැවැති දැඩි අප්‍රසාදය මෙම පරාජයට ප්‍රධාන හේතුවක් වී තිබේ. හංගේරියාව නැවතත් නිවැරදි දිශාවට ගමන් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජයග්‍රහණය සමරන තරුණ ප්‍රජාව විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. මෙම දේශපාලන පෙරළිය හංගේරියාවේ අභ්‍යන්තර පාලනයට පමණක් නොව සමස්ත යුරෝපා සංගමයේ සහ රුසියාවේ දේශපාලන සබඳතාවලට ද ප්‍රබල බලපෑමක් එල්ල කරනු ඇතැයි විචාරකයෝ පවසති.














