ඔසෙම්පික් (Ozempic) සහ මවුන්ජාරෝ (Mounjaro) වැනි GLP-1 කාණ්ඩයේ බර අඩු කිරීමේ ඖෂධ භාවිතය වර්තමානය වන විට ලෝකය පුරා, විශේෂයෙන්ම අමෙරිකාව වැනි රටවල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. වාර්තාවලට අනුව 2020 වසරේ සිට මේ දක්වා මෙම ඖෂධ සඳහා නිකුත් කරන වට්ටෝරු (Prescriptions) ප්‍රමාණය තෙගුණයකින් වැඩි වී ඇත. කෙසේ වෙතත්, මෙම ඖෂධ භාවිතය ආරම්භ කිරීමට පෙර ඒ පිළිබඳව මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය බව ප්‍රධාන පෙළේ ඖෂධවේදියෙකු වන ආරොන් ආමන් (Aaron Arman) පෙන්වා දෙයි.
මෙම ඖෂධ සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු ප්‍රධාන කරුණු අතර සැබෑ අපේක්ෂාවන් පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. මෙම ඖෂධ ක්ෂණික විසඳුමක් (Quick fix) නොවන බව වටහා ගත යුතු අතර, දිගුකාලීන සාර්ථකත්වය රඳා පවතින්නේ ඖෂධ ලබා ගන්නා අතරතුර ඔබ සිදු කරන ජීවන රටා වෙනස්කම් සහ සෞඛ්‍ය සම්පන්න පුරුදු මතය. මුල් මාස කිහිපය ශරීරය ඖෂධයට හුරු වන කාලසීමාව ලෙස සැලකෙන අතර එහිදී ශරීරයට ඖෂධය දරාගැනීමට ඉඩ සැලසීම වැදගත් වේ.
එසේම මෙම ඖෂධ මගින් ආහාර ජීර්ණය මන්දගාමී කර කුසගින්න පාලනය කරන බැවින් අතුරු ආබාධ ඇතිවීමේ ඉඩකඩක් පවතී. ඒ අනුව ඔක්කාරය, බඩ පිපීම, මලබද්ධය හෝ අජීර්ණය වැනි ආමාශගත ආබාධ මුල් සති කිහිපය තුළ හෝ මාත්‍රාවන් වැඩි කිරීමේදී ඇති විය හැකිය. වෛද්‍ය උපදෙස් රහිතව මාත්‍රාවන් වෙනස් කිරීමෙන් මෙවැනි අවදානම් තවදුරටත් ඉහළ යන අතර වෘත්තීය වෛද්‍ය අධීක්ෂණය යටතේ පමණක් මෙය සිදුකිරීම සුදුසුය.
ඖෂධ භාවිතය නතර කිරීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ඖෂධ ගැනීම නතර කළ විට නැවතත් පෙර පරිදිම කුසගින්න සහ ආහාර ජීර්ණය පූර්ව මට්ටමට පත්වන බැවින්, ඖෂධ ගන්නා කාලය තුළ ස්ථාවර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් සහ ව්‍යායාම පුරුදු ඇති කර නොගත්තේ නම්, ශරීර බර නැවත වේගයෙන් ඉහළ යාමේ (Rebound) දැඩි අවදානමක් පවතී. එබැවින් ඖෂධය නතර කිරීම කළ යුත්තේ ක්‍රමානුකූල සැලසුමක් සහ වෛද්‍ය මගපෙන්වීමක් සහිතවය.
අවසාන වශයෙන් ඖෂධ ලබා ගන්නා මූලාශ්‍රය පිළිබඳව ද දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. වර්තමානයේ මෙම ඖෂධ හොර රහසේ අලෙවි කිරීමේ (Back street sales) ප්‍රවණතාවක් පවතින බැවින්, සැමවිටම විශ්වාසදායක සහ ලියාපදිංචි වෛද්‍ය මධ්‍යස්ථානයකින් පමණක් ඖෂධ ලබා ගැනීමට වගබලා ගත යුතුය. වේගයෙන් බර අඩු කර ගැනීමට වඩා වැදගත් වන්නේ ඖෂධයෙන් පසු ද එම සෞඛ්‍ය සම්පන්න බව පවත්වාගෙන යාම බව විශේෂඥයෝ පෙන්වා දෙති.














