වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහසුකම් අවම වීම සහ තෙත වී මිලදී ගැනීමට ඇති නොහැකියාව නිසා ගොවීන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීමට තව වසරක් හෝ දෙකක් ගතවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි. රජය සතුව වී කල්තබා ගත හැකි සෛලෝ (Silo) පහසුකම් නොමැති වීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුවක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා, මීට පිළියමක් ලෙස ගොවි කණ්ඩායම් වෙත වී වේලන යන්ත්‍ර ලබාදීමේ වැඩසටහනක් බැංකු පද්ධතිය හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් කළේය.
ඩඩ්ලි සිරිසේන සහ රත්න වැනි මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, නව තාක්ෂණය භාවිත කරමින් ගල් වැලි ඉවත් කළ පිරිසිදු සහල් වෙළඳපොළට හඳුන්වා දී ගෘහණියන්ගේ කාර්යය පහසු කිරීමට ඔවුන් කළ මෙහෙවර අගය කළ යුතු බවයි. ඔවුන් අසාධාරණ ලෙස මුදල් උපයා ජෙට් යානා හෝ වාහන ලබාගන්නා බවට තමන් චෝදනා නොකරන බවත්, කොළඹින් බැහැරව මෙවැනි ව්‍යාපාරිකයන් බිහිවීම පිළිබඳව තමන් සතුටු වන බවත් ඔහු පැවසීය. කෙසේ වෙතත්, එවැනි වගකීම් සහගත ව්‍යාපාරිකයන් ගොවියාගේ නිෂ්පාදන පිරිවැයටත් වඩා අඩු මිලට වී මිලදී ගැනීම බරපතල අසාධාරණයක් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.














