ඊශ්‍රායලය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනැගීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් වී සකස් කරන ලද “ඒබ්‍රහම් ගිවිසුමට” (Abraham Accords) සම්බන්ධ වීම පාකිස්ථානය මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ. පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසීෆ් (Khawaja Muhammad Asif) මහතා ප්‍රකාශ කර ඇත්තේ, එරට “මූලික මතවාදයන්ට” පටහැනි සහ පලස්තීන අයිතිවාසිකම් උල්ලංඝනය වන කිසිදු එකඟතාවකට පාකිස්ථාන රජය කිසිසේත්ම සහය නොදක්වන බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් එල්ල කරනු ලබන දැඩි රාජ්‍යතාන්ත්‍රික බලපෑම් සහ ඉඟිකිරීම් හමුවේ පාකිස්ථානය මෙම ගිවිසුමට එකඟ වීමේ යම් ඉඩකඩක් පවතින්නේද යන්න පිළිබඳව, ‘Samaa TV’ නැමැති පාකිස්ථාන නාලිකාව සමඟ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර තිබුණි.
ඊට සෘජු පිළිතුරක් දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, “පුද්ගලිකව මම හිතන්නේ නැහැ අපේ මූලික මතවාදයන් සමඟ ගැටෙන මෙවැනි කිසිදු ගිවිසුමකට අප එකතු විය යුතුයි කියලා. එක දවසක්වත් විශ්වාස කළ නොහැකි, පොරොන්දු කඩ කරන මිනිසුන් පිරිසක් (ඊශ්‍රායල පාලකයන්) සමඟ ඔබ කොහොමද එකට වාඩි වෙන්නේ? අපිට මේ සම්බන්ධයෙන් ඉතා පැහැදිලි සහ ස්ථාවර ප්‍රතිපත්තියක් තියෙනවා. මෙය අපට කිසිසේත්ම පිළිගත නොහැකියි” යනුවෙනි.
ඊශ්‍රායලය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීම පාකිස්ථානය මුල සිටම ප්‍රතික්ෂේප කරන බව පෙන්වා දුන් අමාත්‍ය අසීෆ් මහතා, ලෝකයේ අනෙක් රටවලට වඩා පාකිස්ථානය සතු සුවිශේෂී විදේශ ගමන් බලපත්‍ර (Passport) ප්‍රතිපත්තිය ද මෙහිදී සිහිපත් කළේය. “අපේ විදේශ ගමන් බලපත්‍රවල ‘මෙම බලපත්‍රය ඊශ්‍රායලය හැර ලොව සියලුම රටවල් සඳහා වලංගු වේ’ යනුවෙන් ඊශ්‍රායලය යන නම පැහැදිලිවම සඳහන් කරමින් එය තහනම් කර ඇති එකම රට අපියි” යනුවෙන් ඔහු අවධාරණය කළේය.
මීට පෙර, මැදපෙරදිග පවතින දැඩි යුධමය වාතාවරණය සමනය කිරීමේ සහ ඉරානය සමඟ ඇති කරගත හැකි සාම ගිවිසුමකට සමගාමී පියවරක් ලෙස, ඒබ්‍රහම් ගිවිසුමට සම්බන්ධ වී ඊශ්‍රායලය පිළිගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් සහ අරාබි රටවල් කිහිපයකින්ම විවෘතව ඉල්ලා සිටියේය. එහෙත් පාකිස්ථානය ලබාදුන් මෙම සෘජු ප්‍රතිචාරයත් සමඟ, පලස්තීන වැසියන් වෙනුවෙන් පෙනී සිටින සිය ඉස්ලාමීය ප්‍රතිපත්තිය වෙනස් කිරීමට තමන් සූදානම් නැති බව ඔවුන් ලෝකයටම පෙන්වා දී තිබේ.
















