මැදපෙරදිග කලාපයේ පවතින තෙල් අර්බුදය සහ දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් එළඹෙන මාර්තු 23 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්තාන ජනරජ දින (Republic Day) හමුදා පෙළපාලිය අවලංගු කිරීමට එරට රජය තීරණය කර තිබේ. ඉන්ධන මිල ඉහළ යාම සහ බලශක්ති සැපයුම අඩාල වීම හමුවේ දැඩි පිරිමැසුම්දායී පිළිවෙතක් අනුගමනය කිරීම මෙහි අරමුණ බව අගමැති ෂෙබාස් ෂරීෆ් තහවුරු කළේය. ඒ අනුව මෙවර සැමරුම් කටයුතු චාරිත්‍රානුකූල ධජය එසවීමේ උත්සවයකට පමණක් සීමා වනු ඇත. හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින යුදමය වාතාවරණය නිසා පාකිස්තානය තුළ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 321ක් දක්වාත් ඩීසල් ලීටරයක මිල රුපියල් 336ක් දක්වාත් රුපියල් 55කින් ඉහළ දමා තිබේ. බලශක්තිය ඉතිරි කර ගැනීම සඳහා රජයේ සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට උපදෙස් දී ඇති අතර පාසල් ද සති දෙකකට වසා දැමීමට පියවර ගෙන ඇති බව එරට වාර්තා පෙන්වා දෙයි.














