පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය මත්කරල් ජාවාරමක් වටලා රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පානදුර දකුණ මූලස්ථාන පොලිසිය සමත් වී තිබේ. කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව උඩහමුල්ල ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරුවන් කොටු කරගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පානදුර සහ එගොඩඋයන ප්‍රදේශවල පදිංචි අවුරුදු 19, 20 සහ 37 යන වයස්වල පසුවන පුද්ගලයන් තිදෙනෙකි.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම අඹුසැමි යුවළ රුපියල් 23,000ක මාසික කුලියට ලබාගත් නිවසක රැඳී සිටිමින් ඉතා සූක්ෂ්ම ලෙස මෙම මත්කරල් බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇති බවයි. වැටලීම සිදුකරන අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී මත්කරල් 20,100ක් පොලිස් භාරයට ගෙන තිබේ. පාසල් දරුවන් මත්ද්‍රව්‍ය සඳහා පොළඹවා ගනිමින් ඔවුන්ගේ අනාගතය විනාශ කරන මෙවැනි ජාවාරම්කරුවන් පිළිබඳව පොලිසිය දැඩි අවධානයෙන් පසුවන අතර, සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි, මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර සහ අපරාධ අංශ ස්ථානාධිපති විපුල් අබේසිරි යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම සාර්ථක වැටලීම මෙහෙයවා තිබේ. මත්ද්‍රව්‍ය උවදුරෙන් දරු පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා දෙමාපියන් ද වැඩි අවධානයකින් පසුවිය යුතු බව පොලිසිය වැඩිදුරටත් මතක් කර දෙයි. මෙවැනි නීති විරෝධී කටයුතු පිළිබඳව තොරතුරු පවතී නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටී.















