ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස් වූ අතර එහිදී 2026 අයවැය මගින් එම ප්‍රජාව වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව අමාත්‍යාංශ 12ක නිලධාරීන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. මෙම සාකච්ඡාවේදී ආබාධ සහිත පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ නව ව්‍යාපෘති රැසක් ප්‍රකාශයට පත් කෙරිණි.
ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් අප්‍රේල් මාසයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස පතුල පහත් (Low floor) බස් රථ 10ක් මාර්ග දෙකක ධාවනයට එක් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය මෙහිදී අනාවරණය කළේය. එමෙන්ම ආබාධ සහිත අඩු ආදායම්ලාභී දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් මිලියන 50ක් ද, ආබාධිත රණවිරුවන් 23,192කගේ සුබසාධනය සඳහා රුපියල් මිලියන 864ක් ද 2026 අයවැයෙන් වෙන් කර තිබේ. මීට අමතරව ආබාධ සහිත තරුණ තරුණියන්ගේ වෘත්තීය පුහුණුව සඳහා රුපියල් මිලියන 80ක් සහ දෘෂ්‍යාබාධිත විශ්වවිද්‍යාල සිසුන්ගේ ශිෂ්‍යත්ව වෙනුවෙන් රුපියල් මිලියන 17.4ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද අදාළ අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දුන්හ.
සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ “සාර්ව සෞඛ්‍ය ආවරණය” යටතේ ආබාධ සහිත පුද්ගලයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් නව දස අවුරුදු සෞඛ්‍ය ප්‍රතිපත්තිය ලබන අප්‍රේල් මාසයේදී එළිදැක්වීමට නියමිතය. තවද ‘අස්වැසුම’ සුබසාධන වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී ආබාධ සහිත තැනැත්තන් සඳහා දීමනා ගෙවීමට රුපියල් මිලියන 19,000ක දැවැන්ත මුදලක් වෙන් කර ඇති අතර, පොදු ස්ථානවල ප්‍රවේශ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1,000ක් වෙන් කර ඇති බව මුදල් අමාත්‍යාංශය තහවුරු කළේය.
ඩිජිටල් ආර්ථිකය තුළ මෙම ප්‍රජාව ඇතුළත් කර ගැනීම සඳහා නව පනතක් සහ ඔවුන් වෙනුවෙන්ම වෙන් වූ තොරතුරු වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට ද මෙහිදී තීරණය වී තිබේ. මෙම අවස්ථාවට සංසදයේ නියෝජ්‍ය සම සභාපති වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහ ආබාධිත ප්‍රජාවේ නියෝජිතයන් ද නිරීක්ෂකයන් ලෙස එක්ව සිටියහ.
















