පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්‍ෂණික දෙපාර්තමේන්තුවේ ( Department of Food science and Technology) කථිකාචාර්ය එන්.වයි.ජයනාත් යන අය පිළිබදව අප විසින් පසුගියදා දිගින් දිගටම හෙලිදරව් කරන ලද විෂමාචාරයන් සිදු කර තිබෙන්නේ 2019 සහ 2020 කාලසීමාවේ, ඔහු සහකාර කථිකාචාර්ය වරයෙකුව සිටියදීය. එකල්හී එම අධ්‍යනාංශයේ අංශ ප‍්‍රධාන ලෙස කටයුතු කර ඇත්තේ ආචාර්ය බී.ඊ.පී.මෙන්ඩිස් මහත්මියයි.
විශ්වවිද්‍යාල පද්ධතියටම සහ සමස්ත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටද අවමානයක් වන මෙම තක්කඩි ක‍්‍රියාවන් සදහා නිසි පියවර ගැනීමට අංශාධිපති මෙන්ඩිස් මහත්මිය කටයුතු නොකළානම්, එය පේරාදෙණියේ වෙනත් බොහෝ අවකල් ක‍්‍රියාවන් සේම, කාලයේ වැලි තලාවෙන් වැසී සැගවී යන්නට ඉඩ තිබුනි.
එසේ නමුත් මෙන්ඩිස් මහත්මිය කිසිදු පක්‍ෂපාතීත්වයකින් තොරව සිය රාජකාරී වගකීම ඉටුකිරීම හේතුවෙන් මෙම අකටයුත්ත සම්බන්ධයෙන් විශ‍්‍රාමික මහාධිකරණ විනිශ්චයකාරවරයෙකුගේ පරීක්‍ෂණයක් දක්වා එය ගෙන යාමට හැකියාව ලැබුණි. එය විශ්වවිද්‍යාලයේ කීර්තිනාමය ආරක්‍ෂා කර ගැනීම සදහා ගත්තාවූ සද්භාවයෙන් යුතු පරිපාලනමය පියවරක් බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.
විය යුතු සේම එම සද්කාර්යය සදහා එවකට කෘෂි පීඨයේ පීඨාධිපති මහාචාර්ය ගාමිණී පුෂ්පකුමාර මහතාගේද නොමද සහාය ලැබී තිබේ.
මහාචාර්ය ගාමිණී පුෂ්පකුමාර මහතා විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා ඉදිරියේ ලබාදී තිබෙන සිය සාක්‍ෂියේ කියා ඇත්තේ, ජයනාත් යන අයගේ මෙම සිද්ධිය හේතුකොටගෙන ශිෂ්‍යයන්ගේ ප්‍රතිපල ලබාදීමේදී විශ්වවිද්‍යාලයට දැඩි අපහසුතාවයකට මුහුණ දීමට සිදුව තිබු බවය.ලලිත් ඒකනායක වාර්තාවේ, 15 වන පිටුවේ පළමු ඡේදයේ මෙය සටහන්ව තිබෙන බැවින් අවශ්‍ය කෙනෙකුට එය කියවා බැලිය හැකිය.
අංශ ප‍්‍රධාන සහ පැමිණිල්ල සිදුකල ඉරේෂා මෙන්ඩිස් මහත්මියට එරෙහිව, චූදිත ජයනාත් විසින්, ඇය තමන්ට හිරිහැර කිරීම සදහා විවිධ අකටයුතු කම් සිදුකරන බව පුනරුච්චාරණය කර ඇති නමුත්, ජයනාත්ගේ එම ගතු කීම්වල සාධාරණ පදනමක් නොමැති බව ලලිත් ඒකනායක මහතා සිය වාර්තාවේ ස්ථාන ගණනාවකම අවධාරණය කර තිබේ.
ආචාර්ය මෙන්ඩිස් මහත්මිය ආහාර විද්‍යා හා තාක්‍ෂණික දෙපාර්තමේන්තුවේ ( Department of Food science and Technology) කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරන අවධියේ චූදිත ජයනාත් නැමැත්තා, ශිෂ්‍යයෙකු ලෙස එහි අධ්‍යාපනය ලබමින් සිටි බවත් පසුව ඔහු සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස බැදුනු බවත් මෙන්ඩිස් මහත්මිය, ලලිත් ඒකනායක මහතා වෙත ලබාදුන් ප‍්‍රකාශයේ සදහන් කර ඇත. ඒ අනුව මෙන්ඩිස් මහත්මිය සහ ජයනාත් නැමැති අය යම් කාලසීමාවක ගුරුවරයා සහ ශිෂ්‍යයා වශයෙන් කටයුතු කර තිබේ. කෙසේ වෙතත් අංශ ප‍්‍රධාන ලෙස මෙන්ඩිස් මහත්මිය, ජයනාත්ට එරෙහිව පැමිණිලි කළ වහාම, ඔහුට සිය ආචාර්යවරිය මෙන්ම අංශ ප‍්‍රධානියාද වූ, මෙන්ඩිස් මහත්මිය වහකදුරු මෙන් තිත්ත වී ඇත.ඒ අනුව ඔහු උපකුලපතිවරයා වෙත දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කර තිබේ. දුක්ගැනවිල්ලෙන් කියා ඇත්තේ මෙන්ඩිස් මහත්මිය ඔහුට හිරිහැර කරන බවය.
ජයනාත්ගේ මෙම පැමිණිල්ලෙහි ව්‍යාජත්වය පිලිබදව සැක හැර දැනගැනීම සදහා උපකුලපතිවරයා සිදුකල යුතුව තිබුණේ, නීති ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රාමාණිකයෙකු වන විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරුවරයාගේ වාර්තාව වරක් කියවා බැලීමය. එම වාර්තාවේ ස්ථාන ගණනාවක ජයනාත් නැමැත්තාගේ වරදකාරී ස්වභාවය මෙන්ම, ඔහුට එරෙහිව පැමිණිලි කිරීම හේතුවෙන් ඔහු මෙන්ඩිස් මහත්මිය කෙරේ චෝදනාත්මක ස්වරූපයෙන් කටයුතු කිරීම පිලිබදව සදහන් කර ඇත.
එහෙත් මෙම වැදගත් වාර්තාව කියවා බැලීමට කාලය නාස්ති නොකළ උපකුලපතිවරයා, ජයනාත්ගේ දුක්ගැනවිල්ල පිළිබද විශේෂ අවධාණයක් යොමු කොට මෙන්ඩිස් මහත්මියට එරෙහිව විනය පරීක්‍ෂණයක් කැදවීමට කටයුතු කර තිබේ.
ඒ අනුව මේ වන විටත් මෙන්ඩිස් මහත්මියට එරෙහිව විනය පරීක්‍ෂණයක් ක‍්‍රියාත්මකය.අපට පෙනී යන ලෙසට මෙන්ඩිස් මහත්මිය විසින් සිදුකර ඇති වරද වන්නේ ජයනාත්ගේ තක්කඩි ක‍්‍රියා පිළිබද පැමිණිලි කිරීම පමණකි. පැමිණිල්ල එල්ලූම් ගහට නියම කර විත්තිය නිදොස් කොට නිදහස් කරන මේ ආකාරයේ තීන්දු තීරණ ”පේරාදෙණිය ස්පෙෂල් බඩු” බව විශ්වවිද්‍යාල ප‍්‍රජාව මෙන්ම නීති ක්‍ෂේත‍්‍ර‍්‍රයේ ප‍්‍රවීණයෝද කියති.
එම අඥාණ තීරණය ගන්නා අවස්ථාව වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා මහාචාර්ය ටෙරන්ස් මධුජිත් වීමත් ඔහු ආහාර විද්‍යා හා තාක්‍ෂණික දෙපාර්තමේන්තුවේ (Department of Food Science and Technology) ප‍්‍රධාන මහාචාර්යවරයා වීමත් (Department Chair) අහම්බයක් විය නොහැක. එසේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බොහෝ අකටයුතුකම් සමග එම නාමය ගෑවී තිබීම අපගේ හෝ කියවන පාඨකයාගේ දෝෂයක් නොවන බවද සැලකිය යුතුය.
මෙය එක්තරා ආකාරයකට නූතන ගුත්තිල මූසිල කතාවකි. ගුරු සිත නොරිදවා – බැති පෙම් උපදවා අකුරු ඉගෙනගත් ජයනාත් කුමරා තමන්ට අධ්‍යනාංශ ප‍්‍රධාන කම ලැබුනු වහාම තමන්ගේ ගුරුවරුන් වූ ඉරේෂා මෙන්ඩිස් මහත්මිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන මහාචාර්ය නිරංජන් රාජපක්ෂ මහතාටද එරෙහිව, සෘජු පලිගැනීම් ආරම්භ කරන ලද්දේ කාගේ අනුබලය පිටදැයි සොයා බැලීම වටී.
එසේම සුදුසුකම්ලත් ආචාර්ය – මහාචාර්යවරුන් ගණනාවක් සේවය කරන ආහාර විද්‍යා හා තාක්‍ෂණික දෙපාර්තමේන්තුවේ (Department of Food science and Technology) අංශ ප‍්‍රධාන තනතුරට, ආචාර්ය උපාධියක් වත් නොමැති II ශ්‍රේණියේ කථිකාචාර්ය යසේන්ද්‍ර ජයනාත් එකම සුදුස්සා වූ ආකාරය පිලිබදවත් සැගවුන රහසක් තිබිය හැකි බව බැලූ බැල්මට පෙනී යන බවත් නොකියා නොහැකිය.
– මතු සම්බන්ධයි
















