පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් ශාස්ත්‍ර පීඨයේ තෙවන වසරේ සිසුවෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කර විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
විශ්වවිද්‍යාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද තොරතුරක් මත, විශ්වවිද්‍යාල විනය පාලක අංශය විසින් අදාළ සිසුවා නේවාසිකව සිටි කාමරය පරීක්ෂා කර තිබුණි. එහිදී මත්ද්‍රව්‍ය තොගයකට අමතරව, මත්ද්‍රව්‍ය කිරා වෙන්කිරීමට භාවිත කරන ඩිජිටල් තරාදියක් සහ රුපියල් 75,000ක මුදලක් සොයා ගැනීමට ඔවුන් සමත් විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණවලට සමගාමීව විශ්වවිද්‍යාලය මගින් අභ්‍යන්තර විනය පරීක්ෂණයක්ද පවත්වනු ලැබීය. එම පරීක්ෂණ වාර්තාවේ නිර්දේශ මත, උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතාගේ අනුමැතිය පරිදි සිසුවාගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට තීරණය වී ඇති අතර, ඊට අදාළ නිල දැනුම්දීම සිසුවා වෙත භාර දී ඇත.
















