ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් සීමා වීම හමුවේ, වසර පහක විරාමයකින් පසු යළිත් රුසියාවෙන් බොරතෙල් ආනයනය කිරීමට පිලිපීනය තීරණය කර තිබේ. ඒ අනුව “ESPO Blend” වර්ගයේ බොරතෙල් ටොන් 100,000ක් (බැරල් 750,000ක් පමණ) රැගත් “Sara Sky” නමැති රුසියානු නෞකාව මේ වන විටත් පිලිපීනයේ බටාන් (Bataan) පර්යන්තය බලා ගමන් කරමින් පවතින බව වාර්තා වේ. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළේ ඇති වී තිබෙන අස්ථාවරත්වය අවම කර ගැනීම සඳහා ඇමරිකාව විසින් ලබාදුන් තාවකාලික සම්බාධක ලිහිල් කිරීමේ සහනය මීට ප්‍රධාන වශයෙන් පදනම් වී ඇත.
පවතින අධික ඉන්ධන මිල හමුවේ පීඩාවට පත්ව සිටින පාරිභෝගිකයින්ට සහනයක් ලබා දීම සඳහා පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් (Ferdinand Marcos Jr) මහතා වෙත හදිසි බලතල ලබා දීමේ පනතක් ද සකස් කර තිබේ. මෙමගින් ගෝලීය වෙළඳපොළේ තෙල් මිල නියමිත මට්ටමකට වඩා ඉහළ ගියහොත් ඉන්ධන සඳහා අය කරන සුරාබදු (Excise taxes) තාවකාලිකව අත්හිටුවීමට හෝ අඩු කිරීමට ජනාධිපතිවරයාට බලය හිමි වේ. මෙම පනතට අත්සන් තැබීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවත්, පටිපාටිගත කටයුතු අවසන් වූ වහාම එය ක්‍රියාත්මක වන බවත් රජයේ ප්‍රකාශකයෝ පවසති.
පිලිපීනයේ විශාලතම පිරිපහදුව වන පෙට්‍රොන් (Petron) ආයතනය හරහා මෙම රුසියානු බොරතෙල් පිරිපහදු කිරීමට නියමිතය. මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙන තෙල් ප්‍රවාහයට බාධා එල්ල වී ඇති පසුබිමක, මෙලෙස රුසියාව වැනි විකල්ප සැපයුම්කරුවන් වෙත යොමු වීම පිලිපීනයේ බලශක්ති සුරක්ෂිතතාවට තීරණාත්මක වනු ඇත. දේශීය වශයෙන් පවතින ඉන්ධන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව ද QR කේත ක්‍රමය වැනි විකල්ප ක්‍රියාමාර්ග වෙත යොමු වන මොහොතක, ගෝලීය බලශක්ති සැපයුම් ජාලයේ සිදු වන මෙම වෙනස්කම් ඉතා වැදගත් වේ.
















