27 April 2024
#සංවර්ධන

කොළඹ නිවාස සංකීර්ණ 6 ට අදාළව නිවාස ඒකක 4074ක ජනතාව කඩිනමින් පදිංචි කරවන්න – ඇමති ප්‍රසන්න

කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහය වීමේ ව්‍යාපෘතියට අදාළව ඉදිකෙරෙන නිවාස සංකීර්ණ 6 ට අදාළව නිවාස ඒකක 4074ක ජනතාව කඩිනමින් පදිංචි කරවන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ අද (13) පැවති කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහය වීමේ ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනට සහභාගී වෙමිනි.

මෙම මහල් නිවාස සංකීර්ණ ඉදිකරනු ලබන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් පදිංචි කරවීම සඳහායි. ඒ සඳහා ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව මූල්‍ය අනුග්‍රහය දක්වයි.

කොළඹගේ මාවත, ‍ස්ටේඩියම්ගම, ඇපල්වත්ත, ෆර්ගසන් පාර, ඔබේසේකරපුර, මාදම්පිටිය යන ප්‍රදේශවල මෙම නිවාස සංකීර්ණ ක්‍රියාත්මක කරනු ලබති.

මෙම එක් නිවසක් වර්ග අඩි 550න් යුතු වේ, අදාළ නිවස හා දේපළ සඳහා නීත්‍යානුකූල ඔප්පුවක්, ගාස්තු ගෙවීමකින් තොරව ජල/ විදුලි පහසුකම් සබඳතා ලැබීම, අදායම් අහිමිවීම හා ජීවනෝපාය බිඳ වැටීමේ දීමනා, මූල්‍ය හා වෙනත් ආධාර දීමනා මෙම මහල් නිවාස ප්‍රතිලාභීන් සඳහා ලබාදෙනු ලැබේ.

ඒ සඳහා මෙම මහල් නිවාස හය සඳහා එම ප්‍රදේශයේ සේවයේ නියුතු ග්‍රාම නිළධාරී, ප්‍රාදේශීය ලේකම්, පොලිස් නිළධාරීන්, අධ්‍යාපන බලධාරීන්, ආගමික නායකයන්, සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිළධාරීන්‍, ප්‍රවාහනයට සම්බන්ධ නිළධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.බී යාලේගම, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහය වීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ටී.ආර් පිටිගල ඇතුළු අමාත්‍යංශයට අයත් ආයතනවල නිළධාරීන් මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති එච්.එම්.බී.ජී විජේවර්ධන මහතා ඇතුළු පොලිස් නිළධාරීන්, අනෙකුත් රාජ්‍ය ආයතන නිළධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *