මොනරාගල දිස්ත්‍රික්කයේ හම්බේගමුව, ඇතිමලේ සහ තණමල්විල යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පසුගිය 16 වැනිදා සිදුකළ විශේෂ මෙහෙයුමකදී මහා පරිමාණ ගංජා හේන් පහක් වැටලීමට පොලිසිය සමත්ව තිබේ. රක්ෂිත කලාප ඉලක්ක කරගනිමින් සිදුකළ මෙම වැටලීම්වලදී රුපියල් ලක්ෂ ගණනක් වටිනා ගංජා ගස් සහ පැළ විශාල ප්‍රමාණයක් සොයා ගැනුණි.
හම්බේගමුව පොලිසිය විසින් උඩවලව රක්ෂිතයේ අක්කර දෙකකට වැඩි භූමි ප්‍රමාණයක වගා කර තිබූ අඩි පහක් පමණ උසැති ගංජා ගස් 30,000කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත. එහිදී 28 සහ 32 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට පත්විය. මීට අමතරව, ඇතිමලේ පොලිසිය කැබිලිත්ත රක්ෂිතයේදී අක්කරයක වගා කර තිබූ ගංජා ගස් 7,800ක් සහ තවානක තිබූ ගංජා පැළ 15,000ක් සොයාගත් අතර, නිලධාරීන් පැමිණෙන විට එහි සිටි සැකකරුවන් පලාගොස් තිබේ. තණමල්විල උණකන්ද ප්‍රදේශයේදී ද ගංජා ගස් 4,317ක් සොයා ගැනීමට හිඟුරුකඩුව පොලිසිය සමත් විය.
සොයාගත් වගාවන් එම ස්ථානවලදීම කපා කොටා ගිනිතබා විනාශ කිරීමට පොලිසිය පියවර ගත් අතර, නඩු භාණ්ඩ ලෙස තබාගත් ගංජා කොටස් සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් සියඹලාණ්ඩුව සහ වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. රක්ෂිත කලාප තුළ රහසිගතව සිදුකෙරෙන මෙවැනි නීතිවිරෝධී වගාවන් මර්දනය කිරීම සඳහා ඉදිරියේදී ගුවන් නිරීක්ෂණ සහ ඩ්‍රෝන තාක්ෂණය වැඩි වශයෙන් භාවිත කිරීමට පොලිසිය සැලසුම් කර ඇත.















