ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සහ සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ මෙවර පැවැත්වීමට නියමිත පොසොන් පූජෝත්සවය සහ පෙරහැර මංගල්‍යය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. අනාගත පරපුර වෙනුවෙන් මෙරට සංස්කෘතිකමය සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් ඉදිරියට රැගෙන යාම රජයේ මෙන්ම සැමගේ වගකීමක් බව මෙහිදී ජනාධිපති ලේකම්වරයා අවධාරණය කළේය.
සෑම වසරකම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන මෙම පිංකම් මාලාව සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පූර්ණ සහයෝගය අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා, විශේෂයෙන්ම සිතුල්පව්ව විහාරස්ථානයට පිවිසෙන මාර්ගය වාර්ෂිකව අලුත්වැඩියා කිරීමට සිදුවීම සැලකිල්ලට ගෙන, ඒ සඳහා ස්ථීර විසඳුමක් ලබා දීමට පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ඓතිහාසික සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
මෙම අවස්ථාවට තිස්සමහාරාම රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන නායක හිමිපාණන් වහන්සේ සහ සිතුල්පව්ව රජමහා විහාරාධිපති පූජ්‍ය මෙටරඹ හේමරතන නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියහ. තවද හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු, දකුණු පළාත් ප්‍රධාන ලේකම්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීහු සහ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
පවතින ආර්ථික අභියෝග මෙන්ම මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ වුවද, රටේ ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවය රැකගැනීම උදෙසා මෙවැනි පූජෝත්සව නිසි ප්‍රමිතියෙන් යුතුව පැවැත්වීම රජයේ අපේක්ෂාවයි. විහාරාධිපති නායක හිමිපාණන් වහන්සේලා මෙහිදී ප්‍රකාශ කළේ මෙවැනි ජාතික වැදගත්කමකින් යුත් පිංකම් සඳහා රජය දක්වන සක්‍රීය දායකත්වය අගය කරන බවයි.














