ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව හදවත් ප්‍රේමයෙන්, ඉවසීමෙන් සහ සමාව දීමේ උතුම් ගුණයෙන් පුරවා ගනිමින්, සියලු භේද දුරලා එකම ශ්‍රී ලාංකික පවුලක් ලෙස සහෝදරත්වයෙන් ඉදිරියට යාමට එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අදට (අප්‍රේල් 05) යෙදී ඇති පාස්කු ඉරුදිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
එමෙන්ම, මේ මොහොතේ මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලොව පුරා ජනතාව මහත් පීඩාවට පත්ව සිටින බව සිහිපත් කළ ජනාධිපතිවරයා, වෛරය පෙරදැරි කරගත් යුද්ධය වෙනුවට ලෝකවාසී සියලු ජනතාව සාමය සහ සහජීවනය ප්‍රාර්ථනා කරන බවත්, මෙම උතුම් පාස්කු උදාවේදී ඒ සඳහා මාවත විවර වේවායි ප්‍රාර්ථනා කරන බවත් පවසා සිටිනවා.
ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් බලාපොරොත්තුව සහ දයාව පෙරදැරි කරගෙන මෙම උතුම් දිනය සමරන සියලුම ශ්‍රී ලාංකික මෙන්ම ලෝවැසි කිතුනු බැතිමතුන්ට ජනාධිපතිවරයා සිය හෘදයාංගම සුබ පැතුම්ද මෙහිදී එක් කර තිබෙනවා.














