සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට සහ ඉරාන ප්‍රහාරවලින් අමෙරිකානු හමුදා භටයන් හය දෙනෙකු මියයාමට එරෙහිව අමෙරිකාව ඉතා ඉක්මනින් ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
පසුගිය සඳුදා NewsNation පුවත් සේවය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී, අමෙරිකාව ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි විමසූ විට ට්‍රම්ප් පවසා ඇත්තේ “ඔබට එය ඉක්මනින්ම දැනගන්නට ලැබේවි” (you’ll find out soon) යනුවෙනි. කෙසේ වෙතත් ඒ පිළිබඳ වැඩිදුර විස්තර හෙළි කිරීමට ඔහු මැලිකමක් දක්වා ඇත.
ප්‍රතිප්‍රහාර සඳහා ඉරානය තුළට අමෙරිකානු ගොඩබිම් හමුදා (Boots on the ground) යැවීම අවශ්‍ය වනු ඇතැයි තමා විශ්වාස නොකරන බව ද ට්‍රම්ප් මෙහිදී සඳහන් කර තිබේ. මෙයින් ගම්‍ය වන්නේ අමෙරිකාව ගුවනින් හෝ මිසයිල මගින් එල්ල කරන දැඩි ප්‍රහාර කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවයි.
ඉරාන උත්තරීතර නායකයා ඉලක්ක කර ගනිමින් පසුගිය සති අන්තයේ එල්ල වූ ප්‍රහාරවලින් අනතුරුව, ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර එල්ල කරන ලදී. එහිදී අමෙරිකානු සෙබළුන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වීමට හේතු විය.














