ලෝක බලවතුන් දෙදෙනෙකු වන රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඊයේ (09) විශේෂ දුරකථන සංවාදයක් පවත්වා තිබේ. මෙහිදී ප්‍රධාන වශයෙන් ඉරාන-ඇමෙරිකානු යුද්ධය සහ යුක්‍රේන අර්බුදය සමනය කිරීම පිළිබඳව අවධානය යොමු වී ඇති බව ක්‍රෙම්ලිනය සහ ධවල මන්දිරය තහවුරු කරයි. ඉරාන යුද වාතාවරණය හේතුවෙන් මතුව ඇති ගෝලීය බලශක්ති අර්බුදය ලෝක ආර්ථිකයට දැඩි තර්ජනයක් බව මෙහිදී පුටින් අනතුරු අඟවා ඇත.
ෆ්ලොරිඩාහි සිය ගොල්ෆ් සමාජයේ සිට මාධ්‍ය ඇමතූ ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ පුටින් සමඟ ඉතා යහපත් සාකච්ඡාවක් පැවැත්වූ බවයි. ඉරාන ගැටලුව විසඳීමට පුටින් සහය වීමට කැමැත්ත පළ කර ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට රුසියාව වැඩි දායකත්වයක් ලබා දිය යුතු බව තමන් දැනුම් දුන් බව ට්‍රම්ප් පැවසීය. මේ අතර, ලෝක වෙළඳපොළේ තෙල් මිල පාලනය කිරීම සඳහා රුසියානු තෙල් මත පනවා ඇති සම්බාධක ලිහිල් කිරීම කෙරෙහි ද ට්‍රම්ප් පරිපාලනයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
විශේෂයෙන්ම ඉන්දියාව වැනි රටවලට ඇමෙරිකානු දඩුවම්වලින් තොරව රුසියානු තෙල් මිලදී ගැනීමට අවස්ථාව ලබා දීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනය අඩපණ වුවහොත්, අවශ්‍ය වුවහොත් ඇමෙරිකානු නාවික හමුදාව යොදවා තෙල් නැව්වලට ආරක්ෂාව සපයන බව ද ට්‍රම්ප් අවධාරණය කළේය. රුසියාව සතු ස්වභාවික වායු සහ තෙල් සම්පත් නැවතත් යුරෝපීය පාරිභෝගිකයන් වෙත ලබා දීමට තමන් සූදානම් බවත්, ඒ සඳහා දිගුකාලීන සහයෝගීතාවයක් අවශ්‍ය බවත් පුටින් මෙහිදී ප්‍රකාශ කර ඇත.














