රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ‘ආමි උපුල්’ නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් වෙඩික්කරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී, සැකකරු සඟවා තිබූ ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් සොයා ගැනීමට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. මාදම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් වෙඩික්කරු සහ යතුරුපැදිකරු ලබා දුන් තොරතුරු මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
සැකකරුගේ නිවස ඉදිරිපිට වළ දමා තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදාගන්නා උණ්ඩ 14ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. මීට අමතරව, ඝාතනය සඳහා භාවිත කළ බවට සැකකෙරෙන යතුරුපැදිය ජාඇළ ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 28 සහ 35 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් සහ සොයාගත් ගිනි අවි ඇතුළු නඩු භාණ්ඩ ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම ඝාතනයට සම්බන්ධ මෙහෙයවීම් සහ ඊට පාදක වූ හේතු පිළිබඳව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.














