ලුණුගම්වෙහෙර, රණවරනාව ප්‍රදේශයේදී කතරගම ඩිපෝවට අයත් ලංගම බස් රථයක රියදුරු සහ කොන්දොස්තරවරයාට කාන්තාවක ඇතුළු පිරිසක් පහරදීමේ සිදුවීමක් පසුගිය 21 වැනිදා වාර්තා විය. බස් රථයට ගොඩවීමට උත්සාහ කළ 73 හැවිරිදි කාන්තාවක් ඉන් බිමට ඇද වැටීම මෙම ගැටුමට මුල් වී තිබේ.
අනතුරින් බස් රථයේ රියදුරු (41) දෙබරවැව මූලික රෝහලටත්, කොන්දොස්තරවරයා (45) හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලටත් ඇතුළත් කර ඇති අතර බස් රථයෙන් ඇද වැටුණු වයෝවෘද්ධ කාන්තාව තණමල්විල රජයේ රෝහලේ ප්‍රතිකාර ලබයි. බස් රථය ගොඩවීමට පෙර ධාවනය කිරීම නිසා තමා ඇද වැටුණු බව මව පවසන අතර, එය දැක කෝපයට පත් තමා කොන්දොස්තරවරයාට පහර දුන් බව ඇගේ දියණිය පොලිසිය හමුවේ පිළිගෙන ඇත.
කතරගම ඩිපෝවේ අනතුරු විමර්ශන නිලධාරීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














