ජනතාවගේ අරගල නතර කරන්න රනිල් වික්‍රමසිංහලාට කිසිසේත් නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) ජනතා විමුක්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී අනුර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය ” ජනතාව සාමකාමී උද්ඝෝෂණ කරන විට රනිල් වික්‍රමසිංහට තමන්ටම වූ කුඩා අධිආරක්ෂිත කලාපයක් ඇතුලේ ජීවත්වෙන්න සිදුවී තිබෙනවා. ඔය අධි ආරක්ෂිත කලාප තව තවත් කුඩා කරගනිමින් ඒ තුළට රිංගන්න සිද්ධ වෙන බව මතක් කරන්න ඕනෑ. ජනතාවගේ කලාප ඊට වඩා ලොකුයි. ජනතාවගේ අරගල නතර කරන්න රනිල් වික්‍රමසිංහලාට කිසිසේත් නොහැකි බව අවධාරණය කරනවා. ජනතාව උද්ඝෝෂණය කරන්නේ පොදු සමාජය මුහුණ දී සිටින මහා අනතුරුදායක තත්වයෙන් මිදීම සඳහායි. ඒ අය මර්දනය කිරීමට දරන ප්රයත්නය වහාම නතර කළ යුතුයි. රනිල් වික්‍රමසිංහට සහ ඔහුගේ ගෝල බාලයන්ට අපි අවසාන වශයෙන් කියන්නේ මර්දන ක්‍රියාමාර්ග උත්සන්න කිරීම වහාම නතර කළ යුතුයි කියලා. මර්දනය කිරීමෙන් රට පාලනය කිරීම දශක ගණනකට පෙර තත්වයක්. වර්තමානයට එය කිසිසේත්ම වලංගු නැති බව මතක තබා ගත යුතුයි. රනිල් බලයට පැමිණි තැන සිට කටයුතු කරමින් සිටින්නේ පාර්ලිමේන්තුවේදී ඡන්දය දුන් කණ්ඩායම ආරක්ෂා කරන්නයි. ඒ අය සතුටු කිරීම වෙනුවෙන් ගෝල්ෆේස් පිටිටනියේ සාමකාමී උද්ඝෝෂණයට පහර දී එලවා දැම්මා. ඊට පස්සේ උද්ඝෝෂණ ගණනාවකට පහර දුන්නා. අපේ තරුණ සංගමයේ උද්ඝෝෂණයට පහර දුන්නා. එක පැත්තකින් සමාජය බියවද්දා රට පාලනය කරන්නත්, අනික් පැත්තෙන් රාජපක්ෂලාගේ සුරතලෙක්, රාජපක්ෂලාගේ උකුලේ නැලවෙන බලු පැටියෙක් වගේ රනිල් වික්‍රමසිංහ හැසිරෙමින් සිටිනවා.
මේ සමාජයේ ලක්ෂ ගණන් ජනතාව පාරට බැහැලා කීවේ මහජන දේපළ සොරකම් කළ වංචනිකයන්ට, අපරාධකරුවන්ට දඬුවම් දෙන්න කියලයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා කර තිබෙන්නේ අපේ රටේ ආර්ථික අපරාධකරුවන්ට දඬුවම් දෙන්න කියලා. අජිත් නිවාඩ් කබ්රාල්ලා, බැසිල් රාජපක්ෂලා, යහතින් වැජඹෙද්දී සාමාන්‍ය ජනතාවට එළව එළවා පහර දෙන පාලනයක් රනිල් වික්‍රමසිංහ ගෙන යනවා. කුඩා කුඩා ප්රහාරයන්ගෙන්, කුඩා කුඩා බියගැන්වීම්වලින් නතර කළ නොහැකි පුළුල්තම මහජන ව්‍යාපරයක් ගොඩනැඟෙමින් තිබෙනවා. මේ කුඩා ව්‍යාපාරවලට පහරදීම නතර කළ හැකි වුවත් ලක්ෂ ගණන් මහජනතාව කොළඹ නගරය වැටලීම වැඩි ඈතක නොවන බව රනිල් වික්‍රමසිංහ තේරුම් ගත යුතුයි. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි මේ මර්දනයටත් ජනතාවගේ පීඩනයටත් එරෙහිව මේ රටේ සියලු ජනතාව සංවිධානය කරනවා. ජනවරමක් නැති, ප්රජාතනත්ත්ර විරෝධී පාලනය පළවා හැරීමට ජනතාව ඉදිරියට ආ යුතුයි. මේ ව්‍යසනයෙන් ගොඩඒම සඳහා නව පාලනයක් ගොඩනඟා ගත යුතුයි. ඒ වෙනුවෙන් ජනතාව පෙළගැස්වීමත්, ජනතාව එකතු කිරීමත් ජනතාව සංවිධානය කිරීමත් අපේ නායකත්වයෙන් සිදුකරනවා. සෑම විරෝධතාකරුවන්ගෙන්ම, සෑම උද්ඝෝෂකයන්ගෙන්ම සහ මේ පිළිබඳව කම්පාවෙන් සහ කෝපයෙන් කතා කරන අයගෙන් අපි ඉල්ලා සිටින්නේ අපේ රටේ ජනතාව පොදු වේදිකාවකට පැමිණිය යුතු බවයි. සෑම දෙනාගෙන්ම අපි ඉල්ලා සිටින්නේ මේ විනාශකාරී පාලනයටත්, මර්දනකාරී පාලනයටත් මේ විනාශකාරී ආර්ථික ප්රතිපත්තියටත් එරෙහිව මේ රටේ පුළුල්ම ව්‍යාපාරයට එකතු වෙන ලෙසයි.
රනිල් වික්‍රමසිංහට තවදුරටත් බැරැක්ක ඇතුලේ හැංගෙන්න වෙයි. අපි මහජනතාවත් එක්ක මේ ව්‍යාපාරය ගෙනයනවා. රනිල් වික්‍රමසිංහට කිසි ජනවරමක් නැහැ. ලක්ෂ 69න් ආව ගෝඨාභයට රටින් පැනලා යන්නත් එක්වරම හැකි වුණේ නැහැ. ජනතාවගේ ඡන්දයෙන් ආව මහින්ද රාජපක්ෂට අරලියගහ මන්දිරයෙන් පැනලා ගිහිල්ලා නාවුක හමුදා බැරැක්කයක සැලකිය යුතු කාලයක් ඉන්න සිදුවුණා. මේ සියලු බලයන්ට උඩින් ජනතා බලය තිබෙන බව මේ කරුණුවලින් පෙන්නුම් කර තිබෙනවා. ජනවරමක් නැති, මතයක් නැති පුස් මිනිහෙකුට, හිස් මිනිහෙකුට ජනතාවගේ අරගලය නතර කරන්න බැහැ. ජනතාවගේ නැගී සිටීම් නතර කරන්න බැහැ. මේ විනාශකාරී, මර්දනකාරී පිළිවෙත නතර කරන ලෙස රනිල් වික්‍රමසිංහට නැවත නැවතත් අපි අවධාරණය කරනවා. එය නතර කිරීම වෙනුවෙන් නීත්‍යානුකූලවත්, ජනතාව පෙළගැස්වීම හරහාත්, ව්‍යවස්ථානුකූලවත් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කරනවා. යැයි අනුර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.