27 April 2024
#Uncategorised

රනිල් ජනාධිපති විශ්වකර්මකරුවෙක් – මන්ත්‍රී වජිර

ශ්‍රී ලංකාව ඉදිරියට යමින් තිබෙන අතර ලෝකයේ වැටුණු රටවල් අවුරුදු 8 ක්, 10 ක් ඔලුව උස්සන්න බැරුව සිටින අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා විශ්වකර්ම කරුවෙක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (07) දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රෙය් දී පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේදීය.

එහිදී අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ” රාජ්‍ය යාන්ත්‍රණයේ ලක්ෂ 16 ක පමණ රාජ්‍ය සේවකයොත්, විශ්‍රාමික අංශයේ ලක්ෂ 5කුත්, පෞද්ගලික අංශයේ සිටින ලක්ෂ 80 ක පමණ සේවකයොත් යන දෙපිරිසම ශක්තිමත් කරලා රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න තිබෙනවා. දැන් ඒ වැඩපිළිවෙල එහෙම සිද්ධ වුණේ රට බංකොලොත් වුණාටත් පසුවයි. රට බංකොලොත් වෙන තැනට වෙනකල් සියලු දේශපාලන පක්ෂ තර තරඟයට රාජ්‍ය සේවකයන්ටත්, වැඩ කරන ජනතාවටත් බොරු පොරොන්දු සහ බොරු බලාපොරොත්තු දීලා රටක් ජාතියක් ගොඩනගන ගමන් විනාශ වෙලා තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන්නේ අපේ විවිධත්වයන් සහ වෙනස්කම් තියාගෙන රට ගැන වෙනම හිතන්න කියලා. ඒ නිසා තමයි එතුමා මේ රට බංකොලොත් වෙනකොට මැයි මාසයේ 08 වෙනිදා පාර්ලිමේන්තුව අමතලා කියන්නේ දැන් මේ පාර්ලිමේන්තු ක්‍රමයේ විශ්වාසය බිඳ වැටෙමින් තිබෙන්නෙ, දැන් ආර්ථිකය කඩා වැටෙමින් තිබෙන්නෙ. ඉක්මනට අපි එකතු වෙලා එකට සාකච්ඡා කරලා මේකට විසඳුමකට යා යුතුයි කියලා. වර්තමාන ආර්ථික අර්බුධය මතු වන්නේ 2020 අවුරුද්දේ දී ටැක්ස් එක අඩු කලාට පසුවයි. විශේෂයෙන් මේ ආර්ථික අර්බුදය මතු වන්නේ 2019 අවුරුද්දේ අපේ පාලන යන්ත්‍රය වෙනස් වුණාට පසුව බදු ප්‍රතිපත්තිය වෙනස් කළා. බදු ප්‍රතිපත්තියට ඇතුළත් කළා ආදායම් බදුවලින් ආදායම රුපියල් මිලියන 3 ක්ම වැඩි කළා. උපයන විට ගෙවන බද්ධ වෙනුවට ඉහළ ආදායම් බදු ක්‍රමයක් හඳුන්වලා දුන්නා. රඳවාගැනීමේ බද්ධ වෙනුවට උසස් ආදායම් බද්ධක් හඳුන්වා දුන්නා. 6% ප්‍රතිශතයට හවුල්කාර බද්ධ හඳුන්වා දී හවුල් ව්‍යාපාරවලින් බඳවා ගැනීමේ බද්ධ ඉවත් කළා. අගය එකතු කළ විට බද්ධ ද කාර්තුවකට ගෙවිය යුතු බදු සීමාව 2020 ජනවාරි 01 ඉඳලා කාර්තුවකට රුපියල් කෝටි 750 හෝ වසරකට රුපියල් කෝටි 30 දක්වා වැඩි කිරීම ආර්ථික සේවා බද්ධ 2020 ජනවාරි 01 වෙනිදා අහෝසි කළා. ණය ආපසු ගෙවීමේ ගාස්තුවත් 2020 ජනවාරි සිට අහෝසි කළා. මෙන්න මේ බදු වෙනස් කිරීම නිසා වේගයෙන් මේ රට කඩාගනෙ වැටෙන්න පටන් ගත්තා. රජයේ ආදායම අහිමි වුණා, පඩි නඩි ගෙවාගන්න ක්‍රමයක් තිබුණෙ නෑ. ඒ නිසා මහ බැංකුව මුදල් අච්චු ගහලා මුදල් ගත්තා. මුදල් අච්චු ගැසුවාම රටේ උද්ධමනය වේගයෙන් ඉහළට ගියා. ඒ නිසා තමයි වර්තමනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුදල් අච්චු ගැසීම අවශ්‍ය පරිදි තහනම් කරලා තිබෙන්නෙ. මේ හේතුව නිසා රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. මේ විදියටම 2000 ආපු පාර්ලිමේන්තුව කඩාගෙන වැටුණා ආර්ථික ප්‍රශ්න නිසා. 2001 රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වෙලා නැවත රට ගොඩනගාගෙන යනකොට 2004 අප්‍රේල් 10 ඒ පාලනයත් නැවත පෙරළුවා. 2014 වෙනකොට ආයෙත් රට බංකොලොත් වුණා. ඒ බංකොලොත් බවට එන බව දන්නා නිසා කලින් ඡන්දය තියලා බැලුවා බලය රඳවාගන්න පුළුවන් ද කියලා. බලට රඳවා ගන්න බැරි වුණා. නව පාලනයක් ආවා. ඒ පාලනය නිසා තමයි අද රාජ්‍ය සේවකයෝ යන්තම් හුස්ම අරන් ජීවත් වෙන්නෙ. ඒක කල්පනා කරලා බැලිය යුතුයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආර්ථික කළමණාකරනය නිසා 2015 – 2019 අපේ රජයට රාජ්‍ය සේවකයින්ගේ වැටුප (ලංකා ඉතිහාසයේ වැඩිම වැටුප්) වැඩි කිරීම කළා. එදා රජයේ සේවකයන්ගේ අඩුම වැටුප ලබන කාර්යාල සේවක මහත්තයාගේ මූලික වැටුප තිබුණේ රුපියල් 12,500/= ට, රුපියල් 10,000/= කින් වැටුප් වැඩි කළා කිව්වම රුපියල් 10,000/= කින් නොවේ සමහර අයට වැටුප් වැඩි වුණේ. 2015 අපි රජය බාර අරගන්නකොට කාර්යාල සේවක මහත්තයාගේ මූලික වැටුප රුපියල් 29,000/= දක්වා වැඩි වුණා. වෙනත් රාජ්‍ය සේවකයන්ගෙ නම් උදාහරණයක් මුලින් පත්වීමක් ලබන වෛද්‍ය නිලධාරියෙකු ගේ මූලික වැටුප තිබුණේ රුපියල් 40,000/= නම් රුපියල් 80,000/= දක්වා වැඩි වුණා. නීතිපති වරයාට තිබුණේ රුපියල් 80,000/= නම් ඒක රුපියල් 200,000/= පමණ දක්වා වැඩි වුණා. මෙහෙම කරලා තමයි රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරලා, පෞද්ගලික යාන්ත්‍රණයත් ශක්තිමත් කරලා සංචාරක ව්‍යාපාරය දියුණු කරලා ආදායම වැඩි කරලා රාජ්‍ය සේවකයන් ශක්තිමත් කරන්න පියවර ගත්තෙ. නමුත් අවාසනාවකට එහෙම කරපු රජය 2020 දී රාජ්‍ය සේවකයන් හා මහජනතාව එකතු වෙලා පෙරළලා දැමුවා. පෙරළලා දාලා මහපාරට වැටුණා. ඒ විතරක් නොවේ රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම දේශපාලනකරණයටත්, හමුදාකරණයටත් ලක්වීම සිදු වුණා. රජයේ උසස් තනතුරු සියල්ලම පාහේ හමුදාව විසින් කරන්න පටන් ගත්තා. අපේ ප්‍රතිපත්තිය වුණේ යුද්ධ හමුදා කටයුතු මෙහෙයවීම වෘත්තිමය හමුදා නිළධාරින් විසින් සිදුකිරීමයි. රාජ්‍ය පරිපාලන කටයුතු රජයේ සේවකයන්ගේ ඉහළ විධායක නිළධාරින්ගෙන් සමන්විත සංවිධානයකින් සිදු කිරීමයි. එහෙම කරපු රජයක් තමයි පෙරළලා දැමුවේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාත්‍යන්තරයත් සමඟ එකතු වී කඩා වැටුණු රට ගොඩදැමීමට හදන අවස්ථාවේදී වර්ජන රැල්ලක් ඇති කළහොත් රට නැවත කඩාගෙන වැටේවී. දැන් මේ තත්ත්වය නිසා මුළු මහත් රටම කඩාගෙන වැටුණා. බංකොලොත් වූ රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත්, ආසියානු සංවර්ධන බැංකුවත්, ණය දෙන ආයතනවලත් විශ්වාසය දිනාගෙන රට ගොඩනගන්න හදන අවස්ථාවේ කවුරුන් හෝ විසින් නැවත වැඩ වර්ජන රැල්ළක් ඇති කළොත් ආයෙත් සියලු දෙනාටම ඉන්න වෙන්නෙ මහ පාරේ. ඉතින් ජාතිය මහ පාරට ඇදලා දාන්න එපා. අඩු පාඩු තියෙන ඒවා හදන්න නව නීති රීති විශාල පද්ධතියක් ගෙනල්ලා තිබෙනවා. සෑම අංශයක්ම ශක්තිමත් කරන්න නීති රීති අලුතින් ගෙනල්ලා තිබෙනවා. දේශපාලන පක්ෂවලට බොරු පොරොන්දු දෙන්න බැරිවෙන්න නීති රීති ගෙන එමින් තිබෙනවා. මේ තත්ත්වය තුළ අයවැය ඉදිරිපත් වෙනවා. මේ අය වැයේ දී රාජ්‍ය සේවකයෝ ලක්ෂ 16 ක වැටුප් වැඩි කරනවා කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තිබෙනවා. වැටුප් වැඩි කළාටම රට දුවන්න බැහැ. පුද්ගලික අංශයේ අයගෙත් වැටුප් වැඩි කරන්න තිබෙනවා. වැටුප් වැඩි කරන්න වෙන්නෙ මහජනතාවගේ බදු මුදල් අරගෙන ඒ බදු වලින් තමයි තෝරාගත් පිරිසකට වැටුප් වැඩි කරන්න තිබෙන්නෙ. එහෙම වැටුප් වැඩි කළාම ඒ තෝරාගත් පිරිස වැඩි වැඩියෙන් සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කරන්න, වැඩි වැඩියෙන් කර්මාන්තශාලා ශක්තිමත් කරන්න. වැඩි වැඩියෙන් ආනයන අපනයන කටයුතු ශක්තිමත් කරන්න රාජ්‍ය යාන්ත්‍රණය වැඩි කළ යුතුව තිබෙනවා. වැඩ වර්ජන කරලා බෝඩ් ඇල්ලුවම වෙන්නෙ ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වලා කියනවා ලංකාව ස්ථාවර නැහැ කියලා. ලංකාවේ පෙළපාලි යනවා කියලා. පෙළපාලි යන රටකට සංචාරකයන් එන්න බයයි. පෙළපාලි යන රටකට දියුණු වෙන්න ලැබෙන්නෙ නැහැ. දැන් මේ තත්ත්වය තේරුම් අරගෙන රාජ්‍ය අංශයත් සමස්ථ මහජනතාවත් වසර 05 ක් 10 ක් මේ රට දියුණු කරන්න අධිෂ්ඨාන කරගෙන ඉදිරියට යා යුතුයි. එසේ කළොත් තමයි අපිට ශක්තිමත්ව ඉස්සරහට යන්න වෙන්නෙ.
මීට වසරකට පෙර අපි සිටියේ තෙල් බවුසරයක් දකිනකොට අත්පුඩි ගහන සමාජයකයි. දැන් බලන්න එදා මුළු ජාතියම හිටියේ මහ පාරේ. තෙල් බවුසරයක් ඉන්ධන පිරවුල් හළට ආවම මෝටර් සයිකල් කරුවන් දහස් ගණනක් අත්පොළසන් දීලා රතිඤ්ඤා පත්තු කළා. ගෑස් ලොරියක් එනවා දැක්කම මිනිස්සු පාර දිගේ ජය වේවා කියාගෙන යන තැනට පත්වුණා. විදුලිය නැතිව කරුවලේ හිටියේ රජයේ කාර්යාල වල අය. දැන් විදුලිය තිබෙනවා, ගණන් වැඩියි. ඒ ගණන් අඩු කරන්න තිබෙනවා. විදුලි බිල අඩු කළ යුතුව තිබෙනවා. දැන් තෙල් තිබෙනවා, තෙල් මිළ අඩු කරන්න තිබෙනවා. ඒවා කරන්න බැහැ සුරංගනා කතා වලින්. අහුවෙන්න එපා සුරංගන කතා වලට. අපේ ජනකොටස් කිසි සේත්ම ඒවාට හසුවෙන්න එපා. එහෙනම් අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කරන වැඩපිළිවෙල ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අය ඒක පිළිඅරගෙන තිබෙනවා. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. වෙනත් විකල්ප ක්‍රම තිබෙනවා නම් දේශපාලන පක්ෂ වලට කියලා තිබෙනවා ඉදිරිපත් කරන්න කියලා. ජාතික සභාවකුත් පාර්ලිමේන්තුවේ හදලා තිබෙනවා. වෙනත් කිසිම විකල්යක් තිබුණෙ නැහැ. තිබුණෙ නැති නිසා තමයි අර මැයි 12 වෙනිදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා තනි පුද්ගලයා වුණත් එතුමාගේ තිබුණු දැනුම පළපුරුද්ද හැකියාව නිසා සියලු දෙනා එකතු කරගෙන එතුමා අගමැති වෙලා ජූලි මාසයේ 20 වෙනිදා ජනාධිති වුණා. දැන් එතුමාට බාධා නොකර එතුමාට සහයෝගය ලබා දෙන්න තිබෙනවා. තම තමන්ගේ වෙනස්කම් තියාගෙන ඉදිරියට යා යුතුව තිබෙනවා. හූ කියලා අපේ ජාතිය විනාශ කරන්නෙ නැතිව ජාතිය නැගිට්ටවන හැඟීමෙන් සියලු දෙනා ඉදිරියට යා යුතුයි. මම දැක්කා අද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරලා තිබුණා අපි ලෑස්තියි සන්නද්ද අරගලයකට කියලා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී විරෝධියි. ඒ කියන්නෙ අපිට මහජනතාව සහයෝගය නොදුන්නොත් අපි බලෙන් ගන්නවා කියලනේ. බලෙන් ගන්න කිහිප අවස්ථාවක උත්සාහ කරලා ත්‍රිලියන ගණන් මුදල් ජාතියට අහිමි කරලා තිබෙනවා. ඒ නිසා දැන් මේ අය වැයත් එක්ක පාරට බැහැලා හූ කියලා අපේ ජාතිය විනාශ කරන්නෙ නැතිව ජාතිය නැගිට්ටවන හැඟීමෙන් සියලු දෙනා ඉදිරියට යා යුතුව තිබෙනවා. මහා භාණ්ඩාගාරයේ රුපියලක් නොතිබුණු තැන දැන් රුපියල් බිලියන 3.9 ක් පමණ එකතු කරගෙන බංග්ලාදේශයෙන් ගත්ත ණය ගෙවාගෙන, ඉන්දියාවෙන් ගත්ත ණයත් ගෙවාගෙන යන ගමන්, ලෝකයෙන් ගත්ත ණයත් ගෙවාගෙන ඉදිරියට යන ගමන්, මහා සාර්ථක ගමනක් ශ්‍රී ලංකාව ඉදිරියට යමින් තිබෙනවා. ලෝකයේ වැටුණු රටවල් අවුරුදු 8 ක්, 10 ක් ඔලුව උස්සන්න බැරුව ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා විශ්වකර්ම කරුවෙක් ඇත්ත වශයෙන්ම. ගිය අවුරුද්දෙ මේ මාසයේ හිටියේ ගෑස් ලොරියක් එනකොට අත්පොළසන් දීලා රතිඤ්ඤා දාන්න සමාජයක. අද ගෑස් ලොරි එනවා, කවුරුවත් ඒ දිහා බලන්නෙ නැහැ. තෙල් බවුසර් එනවා, කවුරුවත් ඒ දිහා බලන්නෙ නැහැ. දැන් ඒවා අඩුකරන්න කියලා කවුරුවත් පෙළපාලි යන්න ඕන නැහැනේ. අපි පාලකයොනෝ, අපිට තේරෙනවානේ මහජනතාවට අමාරුයි කියලා. මහජනතාවට විශාල පීඩනයක් තිබෙනවා. පීඩනය නැති කරගන්න ඉවසීමෙන් කල්පනාවෙන් ජාතියක් ඉදිරියට යා යුතුව තිබෙනවා. අපි කරන්න තියෙන ඉහළම ක්‍රමවේදය තමයි දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අනුගමනය කරමින් ඉන්නෙ. එහෙම ගියොත් තමයි අපිට අනාගතයක් තිබෙන්නෙ. ඒ නිසා අපි කරන්න තියෙන ඉහළම ක්‍රමවේදය තමයි දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අනුගමනය කරමින් ඉන්නෙ. වෙනත් ක්‍රමයක් නැහැ. හොරාගත්තා සල්ලි එකතු කරලා රටක් දුවන්න බැහැ. හොරා ගත්ත කියන ඒවා ගැන කටයුතු කරන්න ආසියාවේ තියෙන බලසම්පන්නම පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරලා තිබෙනවා. ඒ නීති ගෙනල්ලා තිබෙන්නෙ, ඒ නීති අනුව කවුරුන් හෝ අයතා මුදල් සම්භාරයක් සන්තකයේ තබා ගෙන සිටිනවා නම් ඒවා රජයට අය කරගත යුතුව තිබෙනවා. එහෙම ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට යා යුතුව තිබෙනවා. වෙනත් මාර්ග නැහැ. දුර්වල කණ්ඩායම් ගේන බොළඳ සටන් පාඨ ඔස්සේ රට බිම දාන්න ඉඩ තියන්න එපා. රාජ්‍ය යාන්ත්‍රණයේ විශේෂ වගකීමක් තිබෙනවා මෙවැනි වැටුණු රටක් පෞද්ගලික අංශය හරි හම්බ කරලා දෙන මුදලින් ආදායම උපද්දලා දෙන මහජනතාවට ආදායම උපද්දන්න බැරිවෙන්න කටයුතු කරන්න එපා. එයාලා සංචාරකයෝ ලංකාවට ගෙන්වා ගත්තොත් හෝටල් පිරුණොත්, ඒවායින් ලැබෙන බදු මුදල් භුක්ති විඳින්න පුළුවන් රාජ්‍ය යාන්ත්‍රණයටත් පෞද්ගලික අංශයටත්. ඒ නිසා මුළු මහත් ජාතියම වැටිලා තිබුණු අවස්ථාවක් නිසා තමයි අස්වැසුම දුප්පතුන්ට ලබා දුන්නෙ. අස්වැසුම දුප්පතුන්ට ලබා දෙනකොට රාජ්‍ය සේවකයෝ ඉතා අසරණ තැනක ඉන්නෙ. ඔවුන්ට ඉල්ලන්නත් බෑ, අතපාන්නත් බෑ. ඔවුන් සමාජ තත්ත්වයක් තිබෙනවා කියලා ජීවත් වෙනවා. සමාජ තත්ත්වයකුත් නැහැ. එහෙනම් ඒ අයව ශක්තිමත් කිරීමට මේ අය වැය අනිවාර්යෙන්ම පියවර ගන්නවා. ඒ පියවර ගන්නා අවස්ථාවේ දී ඒකට ලැබෙන ආදායම අහිමි කරන්න කටයුතු කරන්න එපා. ඒකට ලැබෙන ආදායම විනාශ කරන්න කටයුතු කරන්න එපා. ඒ නිසා ජාතිය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා ක්‍රියාකරන්න කියලා මේ අවස්ථාවේ මතක් කරන්න කැමැතියි යැයි මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *