හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණය ඉදිරියේදී ඔහුටම පාරාවළල්ලක් වනු ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි. සිය X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, රාජ්‍ය නායකයෙකුගේ ආරක්ෂාව සහ යටිතල පහසුකම් සැපයීම ගමන නිල හෝ පෞද්ගලික වුවත් රජය විසින් සිදු කළ යුතු ලෝක සම්මතයක් බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේදී බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයේ සංචාරය කළේ නිල ආරාධනයක් මත බව ඕෂල හේරත් මහතා කළ විමසීමකදී තහවුරු වී ඇති බව ද හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි. රාජ්‍ය නායකයෙකු ආරක්ෂකයන් නොමැතිව පෞද්ගලික ගමන්වල යෙදීම ඔවුන් සතුරන්ගේ ගොදුරු බවට පත් කිරීමට හේතුවන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් පදනම නිවැරදි නම් ලංකාවේ සිටි සියලුම රාජ්‍ය නායකයන් ද අත්අඩංගුවට ගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම අත්අඩංගුවට ගැනීමේ “මහ මොළකරු” වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද මෙවැනිම තත්ත්වයකට නුදුරු අනාගතයේදී මුහුණ දීමට සිදුවනු ඇති බැවින් ඔහු ප්‍රවේශම් විය යුතු බව ගම්මන්පිල මහතා සිය සටහන මඟින් වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.














