හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගියේ මෙරටදී ඒ මහතාට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවමින් සිදුකරන බලපෑම් හේතුවෙන් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. අද (10) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ, හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් ලබාදෙන නිර්දේශ පවා රජය සැකයට භාජනය කර ඇති බවයි.
පසුගිය 2025 අගෝස්තු මස රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ අවස්ථාවේදී, ඔහුගේ රුධිර පීඩනය සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලැබීමට සිදු වූ බව වජිර අබේවර්ධන මහතා සිහිපත් කළේය. එම අවස්ථාවේදී ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත්දෙනෙකු විටින් විට CIDය වෙත කැඳවා ප්‍රශ්න කරමින් ඔවුන්ට මානසික පීඩනයක් එල්ල කළ බවත්, වෛද්‍ය වාර්තා අසත්‍ය බවට ඇතැම් පාර්ශව චෝදනා කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙවැනි තත්ත්වයක් තුළ, ඉදිරි ශල්‍යකර්මයක් හෝ වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙරට වෛද්‍යවරුන් වෙත යොමු වුවහොත් ඔවුන්ට නැවතත් මෙවැනි බලපෑම්වලට මුහුණ දීමට සිදු විය හැකි බැවින්, හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවේදී ප්‍රතිකාර ගැනීමට තීරණය කළ බව වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. වසර 76ක නිදහස් සෞඛ්‍ය පද්ධතිය තුළ දක්ෂ වෛද්‍යවරුන් සිටියද, යහපත් ආණ්ඩුකරණයක් නොමැතිකම හේතුවෙන් ඔවුන් පීඩාවට පත්වන බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.













