හෙට, එනම් මාර්තු 03 වැනි අඟහරුවාදා, උතුරු ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවලට අතිශය දුර්ලභ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකබලා ගැනීමේ අවස්ථාව උදා වේ. “Blood Moon” හෙවත් ලෙයින් පෑයූ සඳ ලෙස හැඳින්වෙන මෙම සංසිද්ධියේදී, පෘථිවියේ සෙවනැල්ල මතින් සඳ ගමන් කරන විට එය තඹ පැහැයට හුරු තද රතු පැහැයකින් දිස්වන බව විද්‍යාඥයෝ පවසති. මෙය ඉදිරි වසර තුනක කාලය තුළ ලොවට දැකගත හැකි අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය වීම විශේෂත්වයකි.
පෘථිවි වායුගෝලය හරහා ගමන් කරන හිරු එළිය වර්තනය වී සඳ මත පතිත වීම නිසා මෙම රතු පැහැය ඇති වේ. ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාඥ ආචාර්ය රෙබෙකා ඇලන් පවසන්නේ නගරයේ විදුලි ආලෝකයෙන් බැහැරව අඳුරු ස්ථානයක සිට මෙය නැරඹීමෙන් වඩාත් පැහැදිලි දර්ශනයක් ලබාගත හැකි බවයි. මෙම අවස්ථාවේදී අහසේ ඉහළින් බ්‍රහස්පති ග්‍රහයා ද ඉතා පැහැදිලිව දැකගත හැකි වනු ඇත. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් වැනි නගරවලට හෙට රාත්‍රී 10.04 සිට 11.02 දක්වාත්, නවසීලන්තයට මධ්‍යම රාත්‍රියෙන් පසුවත් මෙය උපරිමයෙන් දිස්වනු ඇත.
අතීතයේදී මෙවැනි රතු පැහැති සඳක් පෑයීම අසුභ පෙරනිමිත්තක් ලෙස සැලකූ අතර, ඉන්කා වැසියන් විශ්වයේ දිවියෙකු සඳ ගිලගන්නා බවට විශ්වාස කළහ. කෙසේ වෙතත්, වර්තමාන විද්‍යාත්මක ලෝකය මෙය විශ්වයේ ගතික ස්වභාවය පසක් කරන අතිමනෝඥ දර්ශනයක් ලෙස සලකයි. ඊළඟ පූර්ණ චන්ද්‍රග්‍රහණය 2028 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා නැවත උදා නොවන බැවින් මෙම අවස්ථාව මගනොහරින්නැයි තාරකා විද්‍යාඥයෝ ලෝකවාසීන්ට ඇරයුම් කරති.















