පෞද්ගලික ඉන්ධන සමාගමක් වන ආර්.එම්. පාක් (RM Parks) සමාගම සිය පිරවුම්හල් සඳහා ඩීසල් ඇනවුම් ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇති බව පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් බන්දුල සමන් කුමාර මහතා අනාවරණය කරයි. එළඹෙන මාර්තු 16 වැනිදා දක්වා ඩීසල් ඇනවුම් කිරීමෙන් වළකින ලෙස එම සමාගම සිය බෙදුම්කරුවන්ට දැනුම් දී ඇති අතර, මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ රට තුළ ඩීසල් හිඟයක් මතු වීමේ බරපතල අවදානමක් පවතින බව ඔහු පෙන්වා දෙයි.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ලේකම්වරයා සඳහන් කළේ, ලබන 16 වැනිදා ඉන්ධන රැගත් නැවක් පැමිණීමට නියමිත වුවද එය ගොඩබෑමට තවත් දින කිහිපයක් ගතවන බැවින් සැපයුම් දාමය අඩාල විය හැකි බවයි. පෞද්ගලික සමාගම්වල ඉන්ධන අවසන් වූ විට එහි සම්පූර්ණ බර සහ වගකීම නැවතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) වෙත පැවරෙන බවත්, පෞද්ගලික අංශය කුඩා නැව් මගින් ඉන්ධන ගෙන්වීම මෙවැනි අර්බුදවලට හේතු වී ඇති බවත් ඔහු චෝදනා කළේය. ඉන්ධන වෙළෙඳපොළ පෞද්ගලීකරණය කිරීම හරහා අපේක්ෂිත සහනයක් ජනතාවට මෙතෙක් ලැබී නොමැති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














