විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන දැනුම ග්‍රාමීය මට්ටමට ගෙන යමින් ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මඟින් ස්ථාපිත කළ දෙවන “Harvest Centre” සේවා හා ආධාරක මධ්‍යස්ථානය අද (12) රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨ පරිශ්‍රයේදී විවෘත කෙරිණි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
අමාත්‍යාංශයේ ප්‍රමුඛ ජාතික වැඩසටහනක් වන “විදතා” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක මෙම මධ්‍යස්ථානය මඟින් දකුණු පළාතේ නව නිපැයුම්කරුවන් දිරිගැන්වීම, පර්යේෂණ වාණිජකරණය කිරීම සහ ආරම්භක ව්‍යාපාර (Startups) සංවර්ධනය කිරීම අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම ග්‍රාමීය ස්වාභාවික සම්පත්වලට තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් අගය එකතු කළ නිෂ්පාදන බිහිකිරීම සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම මෙහි මූලික ඉලක්කයකි.
දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වන “විදතා” මධ්‍යස්ථාන පද්ධතියේ ඉදිරි පියවරක් ලෙස, රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින පර්යේෂණ හා තාක්ෂණික දැනුම සෘජුවම ව්‍යවසායකයින් වෙත සමීප කිරීමට මෙම නව සේවා මධ්‍යස්ථානය මඟින් පහසුකම් සැලසේ. මෙමඟින් නව ව්‍යවසායකයින්ට අවශ්‍ය තාක්ෂණික උපදේශනය හා මඟපෙන්වීම් ලබා දෙමින් රටේ ආර්ථික සංවර්ධනයට දායක විය හැකි නව නිපැයුම් බිහිකිරීමට අවස්ථාව උදා වේ.














