රුසියාවේ මොස්කව් නුවරට කිලෝමීටර් 900ක් පමණ නැගෙනහිරින් පිහිටි උලියානොව්ස්ක් කලාපයේදී අද (03) සිදුවූ දුම්රිය අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව රුසියානු ප්‍රාදේශීය බලධාරීහු ප්‍රකාශ කරති. යූරල් කලාපයේ චෙල්යාබින්ස්ක් (Chelyabinsk) නගරයේ සිට මොස්කව් බලා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රියේ මැදිරි හතක් පමණ මෙලෙස පීලි පැනීමට ලක්ව තිබේ.
රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ තුවාල ලැබූවන් අතර සිටින දරුවා ඇතුළු පිරිසට වහාම අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇති බවයි. අනතුර සිදුවූ ස්ථානයේ සිට විකාශය වූ රූපවාහිනී දර්ශනවල දුම්රිය මැදිරි කිහිපයක් පෙරළී පවතින අයුරු දක්නට ලැබුණු අතර, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. රුසියානු බලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද මෙයින් බාධා පැමිණ ඇති බව වාර්තා වේ.














