රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධී වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.
සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් වූ අතර, එහිදී රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය. මීට අමතරව සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණය පියවර ගෙන තිබේ.
මෙම සිද්ධියට අදාළව අධිකරණයට කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් කියා සිටියේ සැකකරු විසින් 2015 වර්ෂයේ සිට 2026 වර්ෂය දක්වා කාලය තුළ උපයා ඇති හෙළි නොකළ වත්කම් සම්බන්ධයෙන් මෙම චෝදනා ගොනු කර ඇති බවයි. සැකකරු ඔහුගේ බිරිඳ සහ දරුවන් සමඟ අවස්ථා 27කදී විදේශ සංචාරවල නිරත වී ඇති නමුත් ඒ සඳහා වැය කළ මුදල් පිළිබඳ කිසිදු වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවද ඔවුහු පෙන්වා දුන්හ. වැඩිදුරටත් කරුණු දක්වමින් අල්ලස් කොමිසම සඳහන් කළේ සැකකරුගේ බිරිඳ විසින් පවත්වාගෙන ගිය පෞද්ගලික බැංකු ගිණුම්වල රුපියල් ලක්ෂ 340ක මුදලක් සොයාගෙන ඇති බවත්, ඇය විසින් රුපියල් ලක්ෂ 400කට අධික වටිනාකමකින් යුත් නව ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත්ය.
මෙම විමර්ශනයට අදාළව සැකකරුගේ බිරිඳ ඇතුළු පිරිසකගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති බැවින් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම ඉල්ලා සිටියද, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම ඇප නියෝගය ලබා දුන්නේය. පසුගිය 09 වනදා අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.














