රජයේ වත්මන් ක්‍රියාකලාපය “අලියා ගිලපු දිවුලක්” වැනි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය. හදිසි නීතිය ක්‍රියාත්මක වන්නේ ජාතික ආරක්ෂාව සහ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීමට බව රජය පැවසුවද, සැබෑ ජාතික ආරක්ෂාව අනතුරේ වැටී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
විපක්ෂ නායකවරයා මෙහිදී මතු කළ ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය. රටේ ජාතික ආරක්ෂාව ඉහළම මට්ටමක පවතින බව පවසන මොහොතක, ඇමෙරිකානු සබ්මැරීනයක් මෙරට අනන්‍ය ආර්ථික කලාපයට (EEZ) ඇතුළු වූ බව රජය නොදැන සිටීම බරපතල ගැටලුවකි. මෙරට වෙරළේ සිට නාවික සැතපුම් 40ක් වැනි කෙටි දුරකට සබ්මැරීනයක් පැමිණෙන විට එය හඳුනා ගැනීමට තරම් රේඩාර් පද්ධතියක් හෝ පහසුකම් මෙරට ආරක්ෂක අංශ සතුව නොමැතිදැයි ඔහු ප්‍රශ්න කළේය.
එවැනි සිද්ධියක් වූවාද නැද්ද යන්න ප්‍රකාශ කළ නොහැකි බව ආරක්ෂක අමාත්‍යාංශය පැවසීමෙන්ම රටේ ජාතික ආරක්ෂාවට අත්වී ඇති ඉරණම මනාව පැහැදිලි වන බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














