අසීමිත ලෙස ඉහළ දමා ඇති ගෑස්, ඉන්ධන සහ විදුලි ගාස්තු වහාම අඩු කර පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විශේෂ සහන පැකේජයක් ලබා දීමට රජය කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කෙටි කාලයක් තුළ මෙම අත්‍යවශ්‍ය සේවාවන්හි මිල ඉහළ දැමීම නිසා දශලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දැඩි ආර්ථික පීඩනයකට ලක්ව ඇති බවත්, මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ඇති වී තිබෙන බර පාරිභෝගිකයා පිට පැටවීමට රජය කටයුතු කර ඇති බවත් ඔහු චෝදනා කරයි. පීඩාවට පත් ජනතාව ඉලක්ක කර ගනිමින් හෙට (07) පාර්ලිමේන්තුවේදී මූල්‍ය සහන පැකේජයක් ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා විපක්ෂයේ පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.














