විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊද් උල්-අල්හා (හජ්) උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින්, හජ් වන්දනාව තුළින් පිළිබිඹු වන සාමය, සමානාත්මතාවය සහ සහජීවනය යන වටිනාකම් පිළිබඳව විශේෂයෙන් අවධාරණය කර තිබේ.
තමන් නිකුත් කළ පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ජාති, ආගම් සහ වර්ණ භේදයකින් තොරව පොදු අරමුණක් වෙනුවෙන් ජනතාව ඒකරාශී වන හජ් වන්දනාව මගින් ලෝකයට ඉතා උතුම් සාමයේ සහ සමානාත්මතාවයේ පණිවිඩයක් ලබා දෙන බවයි.
ඊද් උල්-අල්හා උත්සවයේ ආධ්‍යාත්මික සාරය තුළින් ජනතාව අතර වැඩි වැඩියෙන් සහජීවනය, අවබෝධය, විශ්වාසය සහ එකමුතුකම වර්ධනය වේවා යැයි ප්‍රාර්ථනා කරන ප්‍රේමදාස මහතා, ශ්‍රී ලංකාව තුළ මෙන්ම සමස්ත ලෝකය තුළම සාමය උදා වේවා යැයි ද ප්‍රාර්ථනා කරයි.
“එම උතුම් පණිවිඩය අප තවදුරටත් වටහා ගනිමු. සාමය, සහජීවනය, එකමුතුකම, අවබෝධය සහ විශ්වාසය පිරි හෙට දිනයක් අප රටට සහ ලෝකයට උදාවේවා” යනුවෙන් විපක්ෂ නායකවරයා සිය සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කරයි.














