විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) පස්වරුවේ කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් මෙරට ඉරාන තානාපතිවරයා හමුවිය. ඉරානය ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවල් රැසක මේ වන විට පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් ජීවිත අහිමි වූ ජනතාව වෙනුවෙන් විපක්ෂ නායකවරයා මෙහිදී සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටියේය. ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, සෞදි අරාබිය සහ ජෝර්දානය ඇතුළු කලාපීය රටවලට බලපා ඇති මෙම ගැටුම් කඩිනමින් අවසන් වී මැදපෙරදිග කලාපයට සාමය උදාවේවා යන්න තම ප්‍රාර්ථනය බව ද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.














