සපුගස්කන්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුමකට සම්බන්ධ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය පෙබරවාරි 25 සහ 26 යන දිනවල මෙම ඝාතන සිදු කිරීමට සැලසුම් කර තිබූ බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම සැකකාරියන් හසු කරගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, ස්මාර්ට් ජංගම දුරකථන දෙකක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන මුදල් ද පොලිස් භාරයට ගෙන ඇත.
පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර, අත්අඩංගුවට ගත් සහෝදරියන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ද සෘජුවම සම්බන්ධ බවට කරුණු අනාවරණය වී තිබේ. සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම හරහා සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසකගේ බරපතළ සැලසුමක් ව්‍යර්ථ කිරීමට පොලිසිය සමත්ව ඇත. මෙම සහෝදරියන් දෙදෙනා මෙහෙයවනු ලැබුවේ විදේශගතව සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු විසින්ද යන්න පිළිබඳව පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන පවත්වයි.














