දැනට පවතින ඉරාන-අමෙරිකානු යුද්ධය හමුවේ සෞදි අරාබිය සහ පකිස්ථානය අතර ඇති කරගත් “මූලෝපායික අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුම” (Strategic Mutual Defence Agreement – SMDA) දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ. සෞදි අරාබියට එල්ල වන ඉරාන ප්‍රහාර හමුවේ පකිස්ථානය සිය ආරක්ෂක පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව පවසමින්, සෞදිය විසින් පකිස්ථානයට ලබා දී තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 6.3ක ණය මුදල වහාම පියවන ලෙස දන්වා ඇති බව ඇතැම් ආරංචි මාර්ග පවසයි.
2025 සැප්තැම්බර් මාසයේදී අත්සන් කරන ලද මෙම ගිවිසුමට අනුව, එක් රටකට එල්ල වන ප්‍රහාරයක් දෙරටටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට (Attack on one is an attack on both) එකඟ වී තිබුණි. කෙසේ වෙතත්, පසුගිය සති කිහිපය පුරා ඉරානය විසින් සෞදියේ බලශක්ති මධ්‍යස්ථාන වෙත මිසයිල ප්‍රහාර එල්ල කළද, පකිස්ථානය සෘජු හමුදා සහාය ලබා දීම වෙනුවට “රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්කරුවෙකුගේ” භූමිකාව පමණක් තෝරාගෙන තිබේ. පවතින වාර්තාවලට අනුව, සෞදි බලධාරීන්ට පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා හෝ හමුදාපතිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති අතර, මෙම “සන්නිවේදන බිඳ වැටීම” (Radio Silence) හේතුවෙන් සෞදිය සිය මූල්‍ය ආධාර සහ තෙල් පහසුකම් අත්හිටුවීමට සූදානම් වන බව පැවසේ. පකිස්ථානය මේ වන විට ඉරානය සහ අමෙරිකාව අතර සාම සාකච්ඡා මෙහෙයවීමට උත්සාහ කරමින් සිටියද, සෞදි අරාබිය අපේක්ෂා කළ “න්‍යෂ්ටික කුඩය” හෝ සෘජු හමුදා ආරක්ෂාව පකිස්ථානයෙන් නොලැබීම මෙම රාජ්‍ය තාන්ත්‍රික ගැටුමට මුල පුරා ඇත.














