සෞදි අරාබියේ රියාද් අගනුවරට දකුණින් පිහිටි අල්-ඛාර්ජ් (Al-Kharj) ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් අද (මාර්තු 04) එල්ල වූ ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් සාර්ථකව මැඩපැවැත්වූ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබේ. ඇමරිකානු හමුදා භටයින් 2,700කට අධික පිරිසක් සහ මිසයිල නාශක පද්ධති රැඳී සිටින, රාජධානියේ විශාලතම හමුදා මධ්‍යස්ථානයක් වන ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර (Prince Sultan Air Base) අසලදී කෲස් මිසයිල (Cruise Missiles) දෙකක් සහ ඩ්‍රෝන යානා 9ක් සිය ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ බව අමාත්‍යාංශ ප්‍රකාශක මේජර් ජෙනරාල් තුර්කි අල් මල්කි සඳහන් කළේය.
මෙම ප්‍රහාරයන් සෞදි ගුවන් සීමාවට ඇතුළු වූ සැණින් හඳුනාගෙන විනාශ කිරීමට හැකි වූ බැවින් කිසිදු පුද්ගල හානියක් හෝ දේපළ හානියක් වාර්තා නොවේ. පසුගිය ඉරිදා සිට අඛණ්ඩව මෙම ගුවන් කඳවුර සහ රියාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉලක්ක කර ගනිමින් ඉරාන හිතවාදී බලවේග විසින් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, අද දින එල්ල වූ මෙම සාර්ථක බාධා කිරීම් (Interceptions) හේතුවෙන් කලාපීය ආරක්ෂාව තවදුරටත් තහවුරු වී ඇති බව සෞදි පුවත් ඒජන්සිය (SPA) වාර්තා කරයි. මීට පෙර රියාද්හි ඇමරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසුව සෞදි අරාබිය සියලුම උපායමාර්ගික මධ්‍යස්ථානවල ආරක්ෂාව උපරිම මට්ටමට නංවා ඇත.














