පාසල් ක්‍රිකට් තරගයක් අතරතුර ඇති වූ ආරවුලක් හේතුවෙන් සිදු වූ පහරදීමකින් තුවාල ලැබූ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි සිසුවෙකු කරාපිටිය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මත්තල, උඩමත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකි.
පසුගිය 23 වන දින මෙම සිසුවා සිය නිවසේ නාන කාමරය තුළ වැටී සිටියදී දෙමාපියන් විසින් රෝහල්ගත කර ඇති අතර, හිසට සිදුව ඇති බරපතළ තුවාල හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත මාරු කර යවා තිබුණි. මියගිය සිසුවාගේ මව පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ, පාසලේ පැවති ක්‍රිකට් තරගයක් අතරතුර එම විද්‍යාලයේම 10 වන ශ්‍රේණියේ සිසුවෙකු තම පුතාට පහර දී ඇති බවයි.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අදාළ පහරදීම සිදු වූ බව කියන දිනයේ මියගිය සිසුවා පාසලේ කාලපරිච්ඡේද හතරක් ඉගෙනුම ලබා පසුව පාපැදියෙන් නිවස බලා ගොස් ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සිසුවාගෙන් සහ පන්තිභාර ගුරුවරයාගෙන් මත්තල පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (02) කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර, මත්තල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.













