ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ (El-Niño) කාලගුණික තත්ත්වය සහ ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ මෙරට බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා පාසල් සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. පාසල් පද්ධතිය තුළ බලශක්ති සංරක්ෂණ සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් සියලුම විදුහල්පතිවරුන් සහ පාසල් ප්‍රධානීන් වෙත නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
‘සුරකිමු ලංකා’ ලෙස නම් කර ඇති මෙම පාසල් බලශක්ති සුරක්ෂිතතා වැඩසටහන, පළමු පාසල් වාරය අවසන් වීමට පෙර අප්‍රේල් 09 වැනිදා හෝ ඒ ආසන්න සුදුසු දිනයකදී ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දී තිබේ. බලශක්ති භාවිතය කාර්යක්ෂම කිරීම, පාරිසරික තිරසාරභාවය වර්ධනය කිරීම සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව සිසුන් දැනුවත් කිරීම මෙහි ප්‍රධාන ඉලක්කයයි.
මෙම වැඩසටහන මගින් සිසුන් තුළ ආකල්පමය සහ චර්යාත්මක වෙනසක් ඇති කිරීමට අපේක්ෂිත අතර, එම පණිවුඩය සිසුන් හරහා දෙමාපියන් සහ සමස්ත ප්‍රජාව වෙත ගෙනයාමට රජය බලාපොරොත්තු වේ. බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා අවශ්‍ය තිරසාර ක්‍රියාමාර්ග ගැනීමට මහජනතාව පෙළඹවීම මෙම වැඩසටහනේ අවසන් අරමුණ බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.














