රට තුළ පවතින ඉන්ධන පරිභෝජනය සීමා කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන පාසල් පැවැත්වෙන දින සංඛ්‍යාව තවදුරටත් සීමා කිරීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. අද (22) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ වුවද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම රජයේ ප්‍රමුඛතාව බවයි.
දැනට පවතින පාසල් වාරය අප්‍රේල් මස 10 වන දින අවසන් වීමට නියමිත අතර, එතෙක් සතියේ බදාදා දිනවල පමණක් පාසල් නිවාඩු ලබා දීමට තීරණය කර ඇත. පසුගිය කාලසීමාව පුරා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සම්බන්ධයෙන් පැවති අවිනිශ්චිතභාවය ගුරුවරුන්ට මෙන්ම සිසුන්ට ද දැඩි මානසික පීඩනයක් වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එම විෂය නිර්දේශ ආවරණය කිරීම සඳහා සතියකට දින 4ක් අනිවාර්යයෙන්ම පාසල් පැවැත්වීමට අපේක්ෂා කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














