දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය සඳහා වන ඇමරිකානු විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් මහතා නිල සංචාරයක් සඳහා අද (19) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය. කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරන පරිදි, මෙම සංචාරය අද සිට මාර්තු 24 වන දින දක්වා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සිදු කිරීමට නියමිතය.මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ඉන්දීය සාගරයේ නාවික මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් වී තිබේ. සර්ජියෝ ගෝර් මහතා මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන් හමුවී දෙරට අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කිරීම, වරාය ආරක්ෂාව නැංවීම සහ වෙළඳ සබඳතා ප්‍රවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය මෙහිදී ඇමරිකාවේ විශේෂ අවධානයට ලක්වනු ඇත.මෙම සංචාරයේ මීළඟ අදියර ලෙස මාලදිවයින වෙත යන විශේෂ නියෝජිතවරයා, එරට රජයේ උසස් නිලධාරීන් හමුවී ආරක්ෂක සහ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කරනු ඇත. විශේෂයෙන්ම ඇමරිකාව සහ මාලදිවයින අතර පවතින 60 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම ද මෙම සංචාරයේදී සිදුවේ. ගෝලීය බලශක්ති අර්බුදයක් සහ නාවික ප්‍රහාරයන් වාර්තා වන මෙවැනි වකවානුවක, ඇමරිකානු ඉහළ පෙළේ නියෝජිතයෙකුගේ මෙම පැමිණීම ශ්‍රී ලංකාවේ භූ-දේශපාලනික ස්ථාවරත්වයට ඉතා වැදගත් වනු ඇත.














