ස්පාඤ්ඤයේ සෙවිල් (Seville) නුවර වාර්ෂිකව පැවැත්වෙන ‘ශුද්ධ වූ සතිය’ (Holy Week) පෙරහැර නැරඹීම සඳහා ලබාදෙන බැල්කනි සහ අසුන්වල මිල ගණන් සංචාරක ඉල්ලුම හමුවේ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. පෙරහැර ගමන් කරන ප්‍රධාන මාර්ගය ආශ්‍රිතව පිහිටි බැල්කනි (Balconies) කුලියට දීම යුරෝ 80 සිට යුරෝ 9,000 (රුපියල් ලක්ෂ 28කට අධික) වැනි ඉහළ මිලක් දක්වා පරාසයක පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ඇතැම් ස්ථානවල එක් අසුනක් සඳහා පමණක් යුරෝ 200ක මුදලක් අය කෙරෙන අතර සාමාන්‍යයෙන් මුළු සතිය සඳහාම බැල්කනියක සාමාන්‍ය මිල යුරෝ 6,000ක් පමණ වේ.
ප්‍රදේශයේ දේපළ පරිපාලකයින්ගේ සංගමය (CAF) පවසන්නේ පසුගිය වසර කිහිපය තුළ මෙම මිල ගණන් දෙගුණ වී ඇති අතර අධික සෙනඟක් බැල්කනිවල රැඳී සිටීම නිසා සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට ගොඩනැගිලිවල ශක්තිමත්භාවය පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් ද පවතින බවයි. ඇන්ඩලූසියානු කලාපයේ පවතින මෙම දැවැන්ත සංචාරක ආකර්ෂණය හේතුවෙන් සෙවිල් නුවරට පමණක් මිලියනයකට අධික සංචාරකයින් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර එමඟින් එරට ආර්ථිකයට යුරෝ මිලියන 500ක පමණ දායකත්වයක් ලැබෙනු ඇතැයි ගණන් බලා තිබේ.














