ඉරානය සහ ඇමෙරිකා-ඊශ්‍රායල සන්ධානය අතර පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ඉන්දීය රජය අනුගමනය කරන “සංයමයෙන් යුත්” (Restraint) ප්‍රතිපත්තිය අනුමත කරමින් ප්‍රවීණ කොංග්‍රස් දේශපාලනඥ ශෂී තරූර් (Shashi Tharoor) මහතා කළ ප්‍රකාශයක් මේ වන විට ඉන්දීය දේශපාලන කරළියේ දැඩි අවධානයට ලක්ව තිබේ. තරූර් මහතාගේ මෙම ස්ථාවරය ඉන්දීය පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) ප්‍රශංසාවට ද ලක්ව ඇත.
ANI පුවත් සේවය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ශෂී තරූර් මහතා ප්‍රකාශ කළේ, මෙවැනි අස්ථාවර අවස්ථාවක සංයමයෙන් කටයුතු කිරීම දුර්වලකමක් නොව ශක්තියක් බවයි. “සංයමය යනු යටත්වීමක් නොවේ. ඉන්දියාව වැනි රටවල් කළ යුත්තේ යුද්ධයට පාර්ශවකරුවන් වීම නොව, දෙපාර්ශවයටම සාමකාමීව පසුබැසීමට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික ඉණිමඟක් (Ladder to climb down) සකස් කර දීමයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
තරූර් මහතාගේ මෙම ප්‍රකාශයත් සමඟ භාරතීය ජනතා පක්ෂය (BJP) සිය විරුද්ධවාදී කොංග්‍රස් පක්ෂයට දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. තම ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු පවා රජයේ විදේශ ප්‍රතිපත්තිය අගය කරන අතරතුර, කොංග්‍රස් පක්ෂය අනවශ්‍ය ලෙස රජය විවේචනය කරන බවට ඔවුන් චෝදනා කරයි. මෝදි රජයේ විදේශ ප්‍රතිපත්තිය ජාතික අවශ්‍යතා ආරක්ෂා කරන බව මෙයින් තහවුරු වන බව BJP නායකයෝ පවසති.
මැදපෙරදිග බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාර “පිළිගත නොහැකි” බවත්, ඒවා “දැඩි ලෙස කනස්සල්ලට කරුණක්” බවත් ඉන්දීය විදේශ අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කර තිබුණි. තම රටේ බලශක්ති සුරක්ෂිතතාවය සහ මැදපෙරදිග වෙසෙන ඉන්දීය වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව දැනට ඉතා පරීක්ෂාකාරී රාජ්‍ය තාන්ත්‍රික මාවතක ගමන් කරමින් සිටී.













