චීනයේ කෘතිම බුද්ධි (AI) තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආරම්භක සමාගමක් (Startup) වන ෂෙන්ෂූ ටෙක්නොලොජි (ShengShu Technology) සමාගම, අලිබබා ක්ලවුඩ් (Alibaba Cloud) ප්‍රමුඛ ආයෝජකයින්ගෙන් චීන යුවාන් බිලියන 2 ක (ඇමරිකානු ඩොලර් මිලියන 293 ක) නව ප්‍රාග්ධනයක් රැස් කරගෙන තිබේ. චීනයේ AI ක්ෂේත්‍රය තුළ පවතින දැඩි තරඟකාරිත්වය මධ්‍යයේ මෙම ආයෝජනය සිදු කර ඇති බව අද (10) නිල වශයෙන් නිවේදනය කෙරිණි.
මිනිස් සංවේදනයන් සහ අන්තර්ක්‍රියා අනුකරණය කළ හැකි “විශ්වීය ලෝක ආකෘතියක්” (General World Model) සංවර්ධනය කිරීම සඳහා මෙම අරමුදල් යොදා ගැනීමට සමාගම අපේක්ෂා කරයි. මෙය කෘතිම බුද්ධිය භෞතික ලෝකය සමඟ සම්බන්ධ කරන ‘Artificial General Intelligence’ (AGI) කරා යන තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.
2023 වසරේ ආරම්භ වූ ෂෙන්ෂූ සමාගම, 2024 වසරේදී ‘Vidu’ නමැති වීඩියෝ උත්පාදන මාදිලිය (Video Generation Model) හඳුන්වා දෙමින් ලෝක අවධානය දිනාගත් අතර, එය OpenAI සමාගමේ සෝරා (Sora) මාදිලියට ප්‍රබල තරඟකරුවෙකු විය. මීට අමතරව, රොබෝවරුන් පාලනය කිරීම සඳහා වීඩියෝ සහ ශ්‍රව්‍ය දත්ත විශ්ලේෂණය කළ හැකි ‘Motus’ නමැති විවෘත මෘදුකාංග පද්ධතියක් ද ඔවුන් පසුගිය දෙසැම්බර් මාසයේදී හඳුන්වා දුන්නේය.














